මේ ලක්ෂණ තියනවා නම් ඔබේ දරුවා අධි අවශ්‍යතා සහිත දරුවෙක් වෙන්න පුළුවන්

සාමාන්‍යයෙන් ගොඩක් පුංචි දරුවන්ට එයාලගේ අවශ්‍යතා සපුරලා දුන්නාට පස්සේ සන්සුන්භාවයට සහ තෘප්තිමත්භාවයට ඉබේම පත් වෙනවා. ඒත් හැම දරුවෙක්ම එහෙම වෙන්නේත් නෑ. කොටසක් ඉන්නවා “අධි  අවශ්‍යතාවයන්” සහිත දරුවන්. ඒ අයට අනෙක් දරුවන්ට වඩා වැඩි අවධානයක් හා ආදරයක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා.

අධි අවශ්‍යතා ඇති ළදරුවෙක් බොහෝ වෙලාවට කරදරකාරීයි, ඉල්ලීම් වැඩිපුර කරනවා සහ එයාලව බලාගන්න එක පවා ටිකක් දුෂ්කරයි. මොකද එයාලා කිසිම වෙලාවක සතුටින් හෝ තෘප්තියෙන් පෙළෙන බවක් පෙනෙන්නේ නෑ. මතක තබා ගත යුතු වැදගත්ම දෙය තමයි මේ වගේ අධි අවශ්‍යතා ඇති දරුවෙක් ලැබීම කියන්නේ ඔබ දෙපළගේ අතින් වුණු වැරැද්දක් නිසා සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඇත්තටම සමහර ළදරුවන් උපත ලබන්නේ අනෙක් අයට වඩා සංවේදී බවෙන් වැඩි ආකාරයටයි. 

 

මතක තබා ගන්න: මෙය රෝග විනිශ්චයක් නෙමෙයි

“අධි අවශ්‍යතා ඇති ළදරුවන්ට” තිබෙන්නේ සෞඛ්‍යමය රෝග තත්ත්වයක් නොවන අතර සියලුම ළදරුවන් විටින් විට මේ විදිහට කලබලයට පත් වෙනවා. පහත දැක්වෙන ලක්ෂණ ළදරු හැසිරීම් අනුව, ඔබේ දරුවා ඉන්නෙත් මෙම අවශ්‍යතා ඇති පැත්තේ වෙන්න පුළුවන් කියන දර්ශකයක් පමණයි මේ. 

සාමාන්‍යයෙන්, ඔබේ දරුවා වයසත් එක්ක වැඩෙනකොට මෙම ගතිලක්ෂණ නිරාකරණය වෙයි. අත්‍යාවශ්‍යම නම් පමණක් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

අධි අවශ්‍යතා ඇති ළදරුවෙකු හඳුනා ගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු…

 

ඔබේ දරුවා නිදා ගන්නේ නෑ

සාමාන්‍යයෙන් අලුත උපන් බිළිඳුන් දවසකට පැය 14 සිට 17 දක්වා නිදාගන්නා අතර මාස 11 ක් දක්වා ළදරුවන් දිනකට පැය 12 ත් 15 ත් අතර කාලයක් නිදා ගන්න ඕනේ.

ඔබට අධි අවශ්‍යතා ඇති දරුවෙක් නම් ඉන්නේ, ඔබේ දරුවා ඒ වගේ කාලයක් කිසිසේත්ම නිදාගන්නේ නෑ. ඒ වගේම අනෙක් ළදරුවන් වරකට පැය 2 ත් 3 ත් අතර කාලයක් නිදා ගනිද්දී පවා ඔබේ දරුවාගේ නින්ද ඉතා කෙටි වෙන්න පුළුවන්. ඒ වගේම දරුවා විනාඩි 20 කට හෝ 30 කට විතර පසුව කලබලයෙන් අවදි වෙලා අඬනවා වෙන්නත් පුළුවන්.

 

ඔබේ දරුවාට වෙන්වීමේ කාංසාවක් තිබෙන්න පුළුවන්

සමහර දරුවන්ට මේ වෙන්වීමේ කාංසාව හෙවත් separation anxiety (හෝ “stranger danger“) සාමාන්‍යයි. විශේෂයෙන් දරුවන්ට මාස 6 සිට 12 දක්වා.

කාලය ගත වෙද්දී සමහර ළදරුවන් ඥාතීන්ගේ රැකවරණය යටතේ හෝ  babysitter කෙනෙක් සමඟ සිටිද්දී ඔවුන්ට ආරක්ෂාවක් දැනෙනවා නම් සහ ඔවුන්ගේ අවශ්‍යතා සපිරෙනවා නම්, දෙමවුපියන් එනකල් ඔවුන් සාමාන්‍ය විදිහට ඉන්නවා.

නමුත් අධි අවශ්‍යතා ඇති ළදරුවෙක්ට අනෙක් දරුවන් වගේ ඒ ආකාරයට අනුවර්තනය වෙන්න බෑ. මොකද එයාලා තමන්ගේ දෙමාපියන් සමඟ දැඩි බැඳීමක් ඇති කර ගන්නවා. නැත්නම් දෙමව්පියන්ගෙන් එක් කෙනෙක්ට අනෙක් කෙනාට වඩා වඩා තදින් ඇලිලා ඉන්නවා.

මෙන්න මේ වගේ දරුවන්ට තිබෙන වෙන්වීමේ කාංසාව නිසා එයාට අවශ්‍ය වෙන්නේ මව හෝ පියා පමණයි. ඒ නිසා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වලදී හෝ වෙනත් රැකබලා ගන්නෙකු සමඟ ඒ වගේ දරුවෙක් තියලා යන්න උත්සහ කරද්දී එයාලා ඒකට ප්‍රතිචාර දක්වන්නේ අධිකව කෑගැසීමෙන් සහ ඇඬීමෙනුයි.

 

ඔබේ දරුවා තනිවම නිදා ගන්නේ නෑ

අධි අවශ්‍යතා ඇති ළදරුවෙකුට වඩාත් දැඩි වෙන්වීමේ කාංසාවක් තියන නිසා එයාලා තමන්ගේම කාමරයේ නිදා ගන්නේ කලාතුරකින්. ඒ වගේම අනෙක් ළදරුවන් වයස වැඩිලා ඔවුන්ගේ ස්වාධීනත්වය ලබා ගැනීමෙන් පසුවත් ඔබේ දරුවා ඔබ ළඟ නිදා ගන්න පුරුදු වෙලා ඉන්න පුළුවන්.

ඒ සඳහා ඔබට කුඩා උපක්‍රමයක් උත්සාහ කරන්න පුළුවන්. ඔබ අසලදි දරුවාව නින්දට වැටුණට පස්සේ එයාව තොටිල්ලේ තබන්න. මෙය සාර්ථකව ක්‍රියාත්මක වෙන්න හෝ නොවෙන්නත් පුළුවන් කියලා දැන ගන්න. මොකද ඔබ ළඟ නොසිටීම දරුවාට දැනෙන අතර තොටිල්ලට දමලා මිනිත්තු කිහිපයක් ඇතුළත එයා අඬමින් අවදි වන්නත් පුළුවන්.

නමුත් දිර්ඝ කාලීනව දරුවා ඔබ සමඟ එකට නිදා ගැනීම ඒ තරම් සුදුසු නැහැ. ඒ නිසා මේ අවස්ථාවේ දරුවා තුළ සාමය පවත්වා ගැනීමට ඇති හොඳම විකල්පය තමයි එයාගේ තොටිල්ල ඔබේ ඇඳ අසල ගෙන එන එක.

 

ඔබේ දරුවා මෝටර් රථයේ යෑමට අකමැතියි

සමහර අධි අවශ්‍යතා ඇති ළදරුවන් තනි කිරීම හා හුදකලා වීම පිළිකුල් කරනවා. එතකොට මෝටර් රථයක එයාව අරන් යද්දී පවා ඒක දරුවාට බියකරු සිහිනයක් වෙන්න පුළුවන්.

මෝටර් රථයේදී දරුවා ඔබෙන් වෙන් වෙලා ඉන්න පුංචි දුරේදී (දුර ප්‍රමාණය ඉදිරිපස අසුනේ සිට පිටුපස ආසනය දක්වා වුණත්) සහ සීමිත ඉඩක් සහිත කාර් සීට් එකක ඉන්න වෙන එකෙන් පවා ඔබේ දරුවා කලබලයට පත් වෙලා එයාව සීට් එකේ තබන මොහොතේම අඬන්න පටන් ගන්න පුළුවන්.

 

ඔබේ දරුවාට සන්සුන් වෙන්න බෑ

ඔබට අධි අවශ්‍යතා සහිත දරුවෙක් ඉද්දී වෙනත් දෙමව්පියන් නිදහසේ ආහාර වේලක් ගන්නකොට හෝ ඔවුන්ගේ හිත මිතුරු සංවාදයක නිදහසේ ඉද්දී ඔවුන්ගේ දරුවන් සෙල්ලම් කරමින් සතුටින් ඉන්න ආකාරය දැක්කාම ඔබට ටිකක් ඊර්ශ්‍යා හිතෙන්න පුළුවන්.

ගොඩක් වෙලාවට අධි අවශ්‍යතා ඇති ළදරුවෙක්ගේ විනෝද කාලය ඉවර වුණ ගමන් එයා කලබලයට පත් වෙලා නොසන්සුන් වෙන අතර, දෙමවුපියන් එයාව රැගෙන යන්න එනකල්ම නොකඩවා අඬනවා. මෙම ළදරුවන් අතිශයින්ම ක්‍රියාකාරීයි. එයාලාව එක තැනක රඳවාගෙන සිටියත්, සෙල්ලම් කරන තැනක වාඩි වෙලා සිටියත් එයාලා හැම වෙලාවේම එහා මෙහා ගමන් කරන්න බලනවා. මෙම දරුවන් නින්දේදී පවා ඇවිදින්න උත්සහ කරන්න පුළුවන්.

 

ඔබේ දරුවාට ස්වයං සැනසීම ලබා ගන්න බෑ

ස්වයං සැනසීමට ඉගෙනීම කියන්නේ දරුවන්ගේ ජීවිතයේ විශාල සන්ධිස්ථානයක්. සූප්පුවක් සූප්පු කිරීම, අත් වලින් සෙල්ලම් කිරීමෙන් හෝ සන්සුන් සංගීතයට සවන් දීමෙන් ව්‍යාකූල ළදරුවෙක්ට ඉබේම සන්සුන් වෙන්න පුළුවන්. ජීවිතයේ අපහසු අවස්ථාවන්ට මුහුණ දෙන්න ඕනේ ආකාරය ඒ හරහා ඔවුන් ඉගෙනගන්නවා. නමුත් අධි අවශ්‍යතා ඇති ළදරුවෙක්ට ඒ විදිහට තමන් විසින්ම තමන්ට ස්වයං සැනසීමක් ලබා ගන්න බැරි වෙනවා. ඒත් ඔබ එයාලාට කෑ ගැසීමෙන් තත්ත්වය නිරාකරණය වෙන්නේ නෑ.

ඒ වගේ දරුවන්ගේ මානසික ස්වභාවය නිසාම එම දරුවන් ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කලබල වෙලා අඬන්න ගන්න අතර, දෙමව්පියන් ළඟදී විතරයි සන්සුන් වෙන්නේ. සමහර වෙලාවට මෙම ළදරුවන් කුසගින්න වෙනුවට සැනසීමක් ලබා ගැනීම සඳහායි අම්මාගේ මව්කිරි බොන්න පුරුදු වෙලා ඉන්නේ.

 

ඔබේ දරුවා ස්පර්ශයට සංවේදීයි

සමහර අධි අවශ්‍යතා සහිත ළදරුවන්ට නිරන්තරයෙන් දෙමවුපියන්ගේ ස්පර්ශය අවශ්‍යයි. මේ නිසාම දවස පුරා වඩාගෙන ඉන්න සිද්ධ වෙනව. සමහර දරුවන් ස්පර්ශ කිරීම් වලට අධිකව සංවේදී වෙනවා සහ බ්ලැන්කට්ටුවක තියන් හුරතල් කරනකොටත් අඬන්නට පටන් ගන්නවා.