දඩිබිඩියේ දවසේ වැඩ කරන කාර්‍යබහුල අම්මලාටමයි මේ ඊසි බත් රෙසිපි එක

ලංකාවෙ අපේ ගෙවල් වල ඉතින් තුන් වේලම හරි බත් කන්න හොයන අයනෙ වැඩි පුර ඉන්නෙ. ඔන්න මේ ගෙනාවෙ උදේට දවල්ට රෑට ඕන වෙලාවක දඩිබිඩියේ හදාගන්න පුළුවන් බත් එකක්. මස් මාළුත් ඉතින් හැම වෙලේම ගෙවල් වල නැහැනෙ. තියෙන විදියට හාල්මැස්සො ටිකක් කරවල කෑල්ලක් දාල මේ බත් එක හදාගන්න පුළුවන්. කරවල ගන්නවා නම් තලපත් හෝ කට්ටා කරවල ටිකක් උණුවතුරෙ දාල තියල හොඳට සෝදල අරගන්න. 

 

හාල්මැස්සො/කරවල තෙම්පරාදු බත්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පිරිසිදු කර සෝදාගත් හාල්මැස්සො හෝ කරවල ටිකක්
  2. හාල් කප් 1
  3. පරිප්පු කප් 1/2
  4. ළූණු
  5. සුදුළූණු 
  6. අමුමිරිස්
  7. කරපිංචා
  8. බිත්තරයක්
  9. කහ
  10. අමු පහේ චුට්ටක්
  11. කෑලි මිරිස් සැර අනුව
  12. අබ
  13. ලුණු

 

  • හාල් කප් එකටම පරිප්පුත් එකතු කරන් හොඳට සෝදල ලුණු පොඩ්ඩකුත් එකතු කරගෙන බත උයාගන්න.
  • තෙල් ටිකක් රත් වෙන්න තියල ඒකට හාල්මැස්සො හෝ කරවල ටික එක්ක කරපිංචා එකතු කරගෙන හොඳට බැදගන්න.
  • මේකට අබ, ළූණු, සුදුළූණු එකතු කරගෙන තෙම්පරාදු කරන් ඒකට අමුපහේ, කෑලි මිරිස්, කහ පොඩ්ඩක් එකතු කරන් හොඳින් තෙම්පරාදු කරගෙන අන්තිමට පරිප්පු එක්ක පිසගත් බත් එකතු කරගන්න.
  • බිත්තරය වෙනම බැදගෙන උණුවෙන්ම කෑමට ගන්න පුළුවන්.
  • වැඩ කරන ගමන් දුව දුව දවල් කෑම වේල හැන්දකින් කන අම්මලාට නම් බිත්තරය බත් එකටම එකතු කරගන්න පුළුවන් ළූණු, අමුමිරිස් දාන වෙලාවටම දාල ස්ක්‍රැම්බල් කරගෙන.