අලුත් තාත්තලාට එන්න පුළුවන් ආතතිය ගැන දන්නවද?

දරුවෙක් ලැබුණාට පස්සේ හැමෝගෙම අවධානය යොමු වෙන්නේ අලුත් දරුවාට නැත්නම් අලුත් අම්මාට විතරයි. ඒත් අලුත් තාත්තලා ගැන දෙන අවධානය ඇත්තටම අඩුයි. ඔබ දන්නවාද, සමහර තාත්තලා තමන්ගේ දරුවා ඉපදුණාට පස්සේ මානසික අවපීඩනයට (Depression) ලක් වෙනවා. ඔබත් තාත්තා කෙනෙක් වෙන්න බලන් ඉන්නවා නම් හෝ දැනටමත් තාත්තෙක් මේ ලිපිය වැදගත් වෙයි…

ඔබත් අලුත් තාත්තා කෙනෙක් නම් ඒ එක්කම ඔබගේ මානසිකත්වය බොහෝ විට උසස් හෝ පහළ මට්ටමකට යන්න ඇති. කෙසේ වෙතත් පියවරුන්ගෙන් 10% ක් පමණ තමන්ගේ දරුවා ඉපදුණාට පස්සේ මානසික අවපීඩනයෙන් පෙළෙනවා. නමුත් බොහෝ විට ඔවුන් උපකාර පතන්නේ නැ. මොකද පිරිමින් බොහෝ විට ඔවුන්ගේ හැඟීම් ගැන කතා කරන්නේ නෑ. ඒ නිසා බොහෝ පියවරුන් තමන් මානසික අවපීඩනයෙන් පෙළෙන බව නොදැන ඉන්න පුළුවන්.

 

ඔබ මානසික අවපීඩනයෙන් පෙළෙනවා නම් ඔබට දැනෙන්න පුළුවන් සමහර දේවල්

  • ශක්තියක් නොමැතිකම
  • වඩාත් කනස්සල්ලට පත්වීම
  • ජීවිත​යේ සතුට හීනවී​ම
  • රැකියා ස්ථානයේ ගැටළු
  • අසුභවාදී බවක්, කෝපාවිෂ්ට බවක් හෝ දුකක් දැනීම
  • වෙනදාට වඩා මත්පැන් හෝ දුම් පානය කරන්නට හිත දීම
  • දරුවාගේ පැමිණීම සතුටින් භුක්ති විඳීමට නොහැකි වීම
  • ඔබේ දරුවා හෝ ඔබේ බිරිඳ සමඟ තරහක් දැනීම
  • හුදෙකලා බවක් දැනීම

 

ඔබේ ඒ ඍණාත්මක සිතුවිලි හා හැසිරීම් ඔබේ මිතුරන් හෝ රැකියා ස්ථානයේ සාමාජිකයන් විසින් දකින්නත් පුළුවන්.

බොහෝ තාත්තලා මේ වගේ අවස්ථාවකදී උපකාර ඉල්ලා සිටින්න මැළි වෙනවා. මොකද ඔවුන් හිතන්නේ ඒකට තනියම මුහුණ දෙන්න පුළුවන් කියලයි. කෙසේ වෙතත් ඔබට ගැටලුවක් ඇති වුණොත් එය හඳුනා ගැනීම වගේම ආදරණීයන්ගෙන් උපකාර ලබා ගැනීම හරහා ඔබට විශාල ශක්තියක් ලැබෙනවා. සති 2 කට වඩා වැඩි කාලයක් තුළ ඔබට ඉහත සඳහන් කරපු ආකාරයේ ලක්ෂණ දැනෙනවා නම් සහ ඔබට ඔබ සමඟ කටයුතු කරන්න අමාරුයි නම් ඒ ගැන ඔබ ඔබේ වෛද්‍යවරයා, ඔබේ බිරිඳ හෝ ඔබට සහායක් දෙන විශ්වාසවන්ත වෙනත් පුද්ගලයෙක් එක්ක සමඟ කතා කරන්න. සමහර විට රැකියා ස්ථානවල පමණක් නෙමෙයි, පවුලේ සහ පෞද්ගලික ගැටළු පිළිබඳව ද ඔබට සහාය දක්වන්න පුළුවන් වෘත්තීය උපදේශකයින් සහ සේවාවන් ද වර්තමානයේ ක්‍රියාත්මක වෙනවා.

ප්‍රතිකාර හා ධනාත්මක ක්‍රියාමාර්ග එතරම් වැදගත් වන්නේ ඇයි?

ඔබ මානසික අවපීඩනයට ප්‍රතිකාර නොකළොත් ඊට අමතරව මේ වගේ ගැටළු ද ඇති වෙන්න පුළුවන්.

  • මානසික අවපීඩනයෙන් පෙළෙන තාත්තෙක්ට ලැජ්ජාවක් හා හුදෙකලා බවක් දැනෙන්නට පුළුවන්. එය ඔවුන්ගේ ජීවිතයේ ප්‍රීතිමත් කාලයක් වුණත් ඒ ගැන කතා කිරීමට අපහසු වෙනවා.
  • ඕනෑවට වඩා මත්පැන් පානය කිරීමට හෝ සියදිවි නසා ගැනීමට වගේ ස්වයං-හානියක් සිදු කරගන්න සිතීම ඇතුළුව අනවශ්‍ය මානසික පීඩාවන් ඇති වෙනවා.
  • මානසික අවපීඩනය බොහෝ විට ඔබේ බිරිඳත් සමඟ තිබෙන සම්බන්ධතාවයට විශාල බලපෑමක් ඇති කරනවා. ඒ නිසා ගැටුම් හා වෙන්වීම් වලට පවා හේතු වෙන්න පුළුවන්.

දෙමව්පියන්ගේ මානසික අවපීඩනය දරුවාට ද ඇති වෙන්න පුළුවන්

බොහෝ අධ්‍යයනවලින් පෙනී යන්නේ දෙමව්පියන්ගේ මානසික අවපීඩනය දරුවාට ද ඇති වෙන්න පුළුවන් කියලයි…

ජීවිතයේ මුල් මාස 12 තුළ ළදරුවන් බොහෝ දේවල් ඉගෙන ගන්නේ දෙමවුපියන්ගෙනුයි. දෙමාපියන්ට තමන් වෙනුවෙන් වැය කරන්න ශක්තිය හා කාලය තියෙනකොට සහ සම්බන්ධතාවයේ ගුණාත්මකභාවය ශක්තිමත් වෙනකොට ඔවුන් ඔබෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. සෑම විටම ඔබේ දරුවා ගැන අවධානයෙන් ඉන්න ඔබට විශාල ශක්තියක් අවශ්‍ය වෙනවා. දෙමව්පියන්ට හැම වෙලාවේම එහෙම අවධානයෙන් ඉන්නත් අමාරුයි. මොකද කවුරුවත් පරිපූර්ණ දෙමාපියන් නෙමෙයි.

නමුත් කුඩා ළදරුවන් ඉතා ඉක්මනින් අනුවර්තනය වෙනවා. දෙමව්පි​යන්ගෙන් එක්කෙනෙක් ටික කාලයක් මානසික අවපීඩනයෙන් පෙළෙනවා නම් එවි​ට අනෙක් කෙනාට තමන්ගේ දරුවාට සහයෝගය දැක්වීම සඳහා වැඩිපුර යොමු වෙන්න පුළුවන්. මානසික අවපීඩනයෙන් පෙළෙන මවට හෝ පියාට සුවයක් දැනෙන්න පටන් ගත්තාම තමන්ගේ දරුවා වෙනුවෙන් අහිමි වුණු කාලය නැවත ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඉක්මනින් ප්‍රතිකාර ලබා ගන්නා තරමට ඒ තත්ත්වය හොඳ කරගන්න පුළුවන් වෙනවා.

 

මතක තබා ගන්න

 

මානසික අවපීඩනය ඉතා සුලභ වන අතර එයට ප්‍රතිකාර කරන්න පුළුවන්.

බොහෝ පිරිමින්ට ඒකට මුහුණ දීගන්න නොහැකි වුණාම උපකාර ඉල්ලා සිටීම සඳහා විශාල ශක්තියක් අවශ්‍ය වෙනවා.

මෙවැනි තත්ත්වයකින් පෙළීම දෙමවුපියන්ගේ වරදක් නොවන බව සිහියේ තබාගෙන අවශ්‍ය සහායන් ලබාගත යුතුයි.

මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයින්ට අවසානයේදී ඒ තත්ත්වය යහපත් අතට හරවාගන්න පුළුවන්. නමුත් ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට බොහෝ කාලයක් ගත වෙන්නත් පුළුවන්. මොකද ඔබේ බිරිඳ සහ දරුවා සමඟ තිබෙන සම්බන්ධතාවයට මාස ගණනාවක් තිස්සේ විශාල පීඩනයක් ඒකෙන් ඇති වෙන්න පුළුවන් නිසා.

මේ වගේ තත්ත්වයකින් මිදෙන්න සෑම මවක්/පියෙක්​ම තමන්ට පුළුවන් උපරිමයෙන් උත්සාහ කරන්න ඕනේ. මොකද දෙමව්පියන් විදිහට තමන්ගේ ළදරුවන්ට ඔබ යහපත් ජීවිතයක් ලබා දෙන්​න අවශ්‍ය නිසා. නමුත් පශ්චාත් උපත් මානසික අවපීඩනය (post natal depression) විසින් ඔබ එහෙම කරන්​න උත්සහ කරන එක පවා නතර කරවන්න පුළුවන්.

 

PND වැළඳුන තමන්ගේ බිරිඳට තාත්තලා සහාය දක්වන්න ඕනේ ආකාරය 

පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනය (PND) කියන්නේ කාන්තාවන්ටත් ඇති වෙන තත්ත්වයක්. ඒකෙදී තමන්ගේ දරුවා ඉපදිලා මාස කිහිපයකට පස්සේ බිරින්දෑවරුන් මේ මානසික අවපීඩනයට ගොදුරු වෙනවා. ඒ වගේම මේ පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනය ඉතා සුලභ තත්ත්වයක්. පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනය ඔබ හෝ ඔබේ බිරිඳ විසින් ඇති කරපු දෙයක් නොවෙයි, ඉබේ ඇති වෙන තත්ත්වයක්. ඇය ඔබ සමඟ කෝප ගන්නවා නම් හෝ නොරුස්සනසුළු ආකාරයෙන් හැසිරෙනවා නම් ඒක රෝගයේ කොටසක් වෙන්න පුළුවන්.

 

ඔබට ඒ සඳහා කරන්න පුළුවන් දේවල් 

  • ඇගේ හැඟීම් තේරුම් ගැනීමට උත්සාහ කරන්න. ඇගේ ගැටලුකාරී හැසිරීමට සාධාරණ හේතුවක් නොතිබුණත්, ඒ වෙලාවට ඇයට එය දැනෙන්නේ සාධාරණ විදිහට වෙන්න පුළුවන්.
  • ඇයගේ කෝපය හෝ නොරිස්සීම ඔබ සමඟ තියන පෞද්ගලික ගැටලුවක් කියලා සලකන්න එපා.
  • සිද්ධ වෙන්නේ මොකක්ද කියලා ඔබගේ පවුලේ අයට සහ මිතුරන්ට දන්වන්න. ඔබට සමීප විශ්වාසවන්තයින්ගේ සහාය මේ අවස්ථාවේ දී විශාල උපකාරයක් වෙයි.
  • ඔබ අකමැති වුණත් පවුලේ අයගෙන් සහ මිතුරන්ගේ උදව් පිළිගන්න.
  • ඇයට සහයක් ලබා දීම සඳහා ඔබේ දරුවා සමඟ වැඩිපුර කාලය ගත කරන්න. නමුත් ඇයට ඇගේ මාතෘ වගකීම් ඉටු කරන්න නොහැකිම අවස්ථාවක හැරෙන්න ඇ​ගේ භූමිකාව ඔබ බාර ගන්න යන්න එපා.
  • උපකාර ලබාගන්නා අතර ඇය සමඟ ඉවසිලිවන්තව ජීවත් වෙන්න ඔබ උත්සහ කරන්න.
  • ඔබේ බිරිඳ අවපීඩනය නිසා දුක් විඳිනවා නම් නිවස ද දුක් සහගත තැනක් වෙන එක වළක්වන්න ටිකක් අමාරුයි. නමුත් ඔබ තාත්තා විදිහට බිරිඳ සහ දරුවා එක්ක නිවසේ රැඳී සිටීම වැදගත්. තත්ත්වය යහපත් වෙන්න කාලය ගත වෙනවා. එනිසා ඉවසිලිවන්තව කටයුතු කරන්න.