ඉතුරු ඉඳිආප්ප වලින් පිලාෆ් හදන්න දන්නවද?

ඉඳිආප්ප හදන කොට ගණන් බල බල හදන්නෙ නෑනෙ ඉතින්. ඔන්න ඉතුරු ඉඳිආප්ප වලින් නැත්නම් අලුත් ඉඳිආප්ප වලින් හරි හදල බලන්න පුළුවන් රස කෑමක් මේ. පොඩ්ඩො ආයෙ නම් ඉඳිආප්ප වලට එපා කියන එකක් නෑ. 

 

ඉඳි ආප්ප පිලාෆ්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. කෑලි කඩා ගත් ඉඳිආප්ප 30ක් විතර
  2. හීනියට කපාගත් කැරට් /ලීක්ස්
  3. ලොකු ළූණු ගෙඩි එකක්
  4. කටු අයින් කරලා තම්බගත්තු චිකන් ග්‍රෑම් 200ක් (ඒකෙන්ම හදාගත්තු චිකන් ස්ටොක් එකත් අවශ්‍යයි)
  5. කුරුඳු
  6. කරදමුංගු
  7. කරාබු නැටි
  8. කරපිංචා හා රම්පේ
  9. තලාගත් ඉඟුරු සුදුළූණු මේස හැන්දක්
  10. ලුණු හා ගම්මිරිස්

 

 

ඩ්‍රෙසින් එකට

 

  1. මුද්දරස්පලම් ටිකක්
  2. බැදගත් ළූණු
  3. බැදගත් කජු ටිකක්
  4. තම්බා ගත් බිත්තර 2
  5. කොත්තමල්ලි කොළ

 

 

  • පෑන් එක ලිපේ තියලා රත්වෙනකොට කරදමුංගු කරාබුනැටි ටික තෙලට දාගන්න. ඒකටම කරපිංචා, රම්පේ එක්ක තම්බගත්තු චිකන් ටික දාලා පොඩ්ඩක් ෆ්‍රයි වෙන්න දෙන්න.
  • ඊට පස්සෙ ඉඟුරු, සුදුළූණු ටික දාගන්න.
  • දැන් කැරට් ටික දාලා තැම්බෙන්න අරින්න. ඊට පස්සෙ සිහින්ව කපාගත් ලොකු ළූණු ටික දාලා හොඳට කලවම් කරගන්න. ඒකටම ලීක්ස් ටිකක් ඉතුරු කරලා ඉතුරු ටික දාගන්න. රස අනුව ලුණු, ගම්මිරිස් දාගන්න.
  • දැන් චිකන් ස්ටොක් එක අරන් ඒකෙන් ටිකක් කඩාගත්තු ඉඳිආප්ප වලට දාලා කලවම් කරගන්න. ඉන් පස්සේ එළවළු මිශ්‍රණයට ඉඳිආප්ප ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න.
  • ඉතුරු කරගත් ලීක්ස් ටිකත් දාලා කලවම් කරගන්න.
  • අන්තිමට මුද්දරස්පලම්, බැදගත්තු ළූණු ටික දාගෙන ලිප ඕෆ් කරන්න.
  • බෝල් එකකට දාලා, බිත්තර පෙති කපලා උඩින් තියලා, ළූණු බැදපුවා සමඟ කජු, මුද්දරස්පලම් වලින් සරසගෙන අන්තිමට කොත්තමල්ලි කොළ උඩින් දාන්න.