දරු ප්‍රසූතියෙන් පසු බිරිඳ ගැන සැමියා සැලකිලිමත් විය යුතු කරුණු

සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියක් කියන්නේ කාන්තාවක් කායිකවත් මානසිකවත් අධික ලෙස වෙහෙසට අවධානමකට පත් වෙන ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. විශේෂයෙන්ම පළමු වර දරුවෙක් බිහි කරන්න ලෑස්ති වෙන අම්මා කෙනෙක්ට ඒ බය ටිකක් වැඩියි කලින් අත්දැකීම් තියන අම්මලාට වඩා.

මාස 10ක් තිස්සේ දරුවාව ඇහැක් වගේ රැක බලාගෙන දරුවා මේ ලෝකයට බිහි කළාට පස්සේ ඔක්කොම එක පාර ඉවර වෙන්නේ නෑ. ඔබ මවක් වශයෙන් දරුවා ගැන සැළකිලිමත් වෙනවා වගේම ප්‍රසූතියෙන් පසු ඔබේ කායික හා මානසික සෞඛ්‍ය තත්ත්වය ගැන ද අවධානයෙන් ඉන්නම ඕනේ.

විශේෂයෙන්ම සැමියන් පවා බිරිඳගේ වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කරමින් ඇයට අවශ්‍ය සෙනෙහස හා රැකවරණය ලබා දිය යුතුයි. දරුවයි බිරිඳයි ගෙදර ආ පසු ඔබේ ආදරය දරුවාට වගේම ආදරණීය බිරිඳටත් පෙරටත් වඩා වැඩියෙන් ලබා දීම අත්‍යාවශ්‍යයි. 

මේ අවදානම් ලක්ෂණ එකක් හෝ දරුවාගේ මව විසින් පෙන්නුම් කරනවා නම්, නොපමාව ලඟම ඇති රෝහලට රැගෙන යන්න. පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියට ද දැනුම් දෙන්න.

අධික රුධිර වහනය

යෝනි මාර්ගයෙන් අධික රුධිරයක් වහනය වීම( මිනිත්තු 20-30 කට වරක් සනීපාරක්ෂක තුවා 2-3ක් පෙඟී යාම හෝ ප්‍රසූතියෙන් පසු රුධිරය වහනය අඩු වෙනවා වෙනුවට තවත් වැඩි වීම හෝ කැටිති වශයෙන් පිට වීම) 

අධික රුධිර පීඩනය

අධික රුධිර පීඩනය පෙන්නුම් කරන ලක්ෂණ වන අධික හිසරදය, ක්ලාන්තය, පපුවේ හෝ උදරයේ උඩ කොටසේ ඇති වන දැවිල්ලක් හෝ තද වීමක්.

කෙණ්ඩා වේදනාව

ඇවිදින විට වැඩි වන කෙණ්ඩා වේදනාව හෝ කෙණ්ඩා ඉදිමී රතු වීම, හුස්ම ගැනීමේ අපහසුව හෝ වේගවත්ව හුස්ම ගැනීම ( විශේෂයෙන්ම හෘද රෝග සහිත මවකට හුස්ම ගැනීමේ අපහසුව) 

තද උණ

උණ (විශේෂයෙන්ම දරුවා ඉපදී දින 02ක් ඇතුළත මවට ෆැරන්හයිට් අංශක 100 හෝ සෙල්සියස් අංශක 38 ට වඩා උණ තිබේ නම් වහාම රෝහල්ගත වන්න)  

මානසික මට්ටමේ වෙනස්කම්

විශේෂයෙන්ම දරුවා බිහි කර නිවසට ගිය පසු මවගේ මානසික තත්ත්වයේ යම් වෙනස්කමක් දැනුනොත් වහාම වෛද්‍යවරයා දැනුම්වත් කරන්න. 

යෝනි ශ්‍රාවයන්

මෙම කරුණු වලට අමතරව දුගඳ හමන යෝනි ශ්‍රාවයක් පිට වීමවිටපිය තුවාලය (එපිස් එක) ඈත් වීම හෝ අධික වේදනාව, ප්‍රසූතියෙන් පසු පළමු සති 06 තුළ ඇති වන අධික උණ හා පපුවේ වේදනාව ආදී තත්ත්වයන් ගැන අවධානයෙන් සිටින්න.