වැඩිවියට පත් වීමට පෙර ඔයාගේ දියණිය සමඟ ඒ ගැන කතාබස් කරන්නේ කොහොමද?

ඔයාගේ තරුණ දුව කිසිදු හේතුවක් නොමැතිව තරහ ගැනීමට පටන් ගෙන තියෙනව නම්, අඬමින් හෝ වැඩිපුර නිදා ගනිමින් කාලය ගෙවනවා නම් එය ඔවුන්ගේ හෝමෝන සැබවින්ම වෙනස් වී ඇති බවට ලකුණක් වන අතර ඔවුන් වැඩිවියට පැමිණීමේ මුල් අවධියේ තමයි ඉන්නේ.

ඔයා තවමත් ඔයාගේ දුව සමඟ ඔසප් කාලයේ සිදුවීම් ගැන සංවාදයක් පවත්වා නැතිද? ඔසප් වීම සහ ඔවුන්ගේ වෙනස්වන ශරීරය ගැන දරුවන්ට අවබෝධයක් ලබාදෙන්න වැඩිවිය පැමිණෙන්න කලින් දුවත් එක්ක කතා කරන්න ඕන. 

ඔයාගේ දුවව මේ සඳහා සූදානම් කරන්නේ කොහොමද?

සෞඛ්‍ය සම්පන්න සනීපාරක්ෂාව

මේ කාලයේදී ශරීරයෙන් ඇති වන ගන්ධය (විශේෂයෙන් අත් යට), ඔවුන්ගේ මුහුණේ කුරුලෑ ඇති වීම වළක්වා ගන්න නිතරම පිරිසිදුව සිටීම ගැන දරුවට කියා දෙන්න. කුඩා පියයුරු වර්ධනය වන අතර රහස් ප්‍රදේශයේ සහ අත් යට රෝම වර්ධනය වීමට පටන් ගන්නවා. ඒ සමඟම නිසි ශරීර සනීපාරක්ෂාව ඉගැන්වීම ආරම්භ කරන්න. ඔවුන්ගේ මුහුණ සහ යටිකය කෙරෙහි අවධානය යොමු කරමින් දිනපතා ස්නානය කිරීමට දිරිගන්වන්න. මුහුණ සේදීම සඳහා මෘදු pH උදාසීන හොඳ තත්ත්වයේ ෆේස් වොශ් එකක්, ඩියෝඩ්‍රන්ට් එකක් සෑම දිනකම භාවිතා කිරීමට දරුවා පොළඹවන අතරම පිරිසිදුව සිටීමේ වැදගත්කම ගැන කියාදෙන්න. 

 

Discharge නැත්නම් යෝනි මාර්ගික තරල පිටවීම් 

ඔයාගෙ දුවගෙ යට ඇඳුම් වල සුදු පැහැ හෝ අවර්ණ තරලයක් දකින්න පුළුවන් වෙයි. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ ඩිම්බ මෝරන විට වන අතර, දුවගේ පළමු ‘රුධිර විසර්ජනය’ නැත්නම් පළමු ඔසප් වීම සිදුවෙන්න මාස 3 සිට මාස 12ක කාලයක පටන් ඩිම්බ මේරීම ආරම්භ වෙනව. මේ සියල්ල සාමාන්‍ය දෙයක් බව දරුවාට කියාදෙන්න. 

 “ඔයාගේ ශරීරය ඔසප් වීම සඳහා සූදානම් වෙනව… සුදු හෝ පැහැදිලි තරලයකින් අදහස් කරන්නේ ඔයාගෙ යෝනි මාර්ගය නිරෝගීව තබා ගන්නා හොඳ බැක්ටීරියා තියෙනව කියන එක. හැබැයි කහ පැහැයෙන් පිටවන තරලයක් හෝ දුර්ගන්ධයක් තියෙනවා නම් ඉක්මණින් ඒ ගැන අම්මට කියන්න ඕන.. කල් ගියොත් යෝනි මාර්ගය කසන්න හෝ තුවාල වෙන්න පුළුවන්. ” යනුවෙන් සරලව ඇයට එම ක්‍රියාවලිය පහදන්න.

 

ප්‍රස්ථාර වෙනස්වීම්

දියණියන් මෙම කාලය තුළ මනෝභාවයන්, හිසරදය සහ බඩේ කැක්කුම ද අත්විඳිය හැක. මේ තත්ත්ව ඔවුන්ට ව්‍යාකූල සහ අනපේක්ෂිත වෙන්න පුළුවන්. දරුවාගේ හෝමෝන රෝග ලක්ෂණ තේරුම් ගැනීමට හොඳ ක්‍රමයක් වන්නේ ඔවුන් අත්විඳින දේ දින දර්ශනයක හෝ දිනපොතක සටහන් කිරීමයි. ඔයාට කේත භාවිතා කළ හැක. ST = බඩේ අමාරුව හෝ H = හිසරදය, D = විසර්ජනය, G = කේන්තිය ආදී වශයෙන්. ඔසප් වීම් දිනයන් පැමිණෙන විට දරුවන්ට එය ප්‍රස්ථාර ගත කිරීමෙන් ඔවුන්ගේම හැසිරීම් ලක්ෂණ කියවීමට ඉගෙන ගත හැක.

 

සනීපාරක්ෂක නිෂ්පාදන

ඔයාගෙ සනීපාරක්ෂක තුවා හෝ නිෂ්පාදන දුවගෙන් හංගල තියන් හිටියා නම් දැන් ඒවා ගැන දරුවට කියාදෙන්න කාලය හරි. යම් කාලයක් දක්වා සෑම මාසෙකම ඔයාගෙ යෝනි මාර්ගයෙන් ලේ ගැලීමක් සිදු වෙන බවත්, ඒ කාලයේදී සනීපාරක්ෂක තුවා පාවිච්චි කරන්න වෙන බවත්, දරුවට භාවිතා කළ හැකි සනීපාරක්ෂක තුවා නිෂ්පාදන කිහිපයක් ගැනත් දුවව දැනුවත් කරන්න.

 

කුඩා මල්ලක් සදා ගන්න

දරුවා යන යන තැන මෙම මල්ල රැගෙන යාමට අමතක කරන්න එපා. හදිස්සියකදී භාවිතා කිරීමට මේ බෑග් එකට අමතර යට ඇඳුම් යුගලයක්, පෑඩ් දෙකක් පමණ දමන්න. ඒ වගේම නිෂ්පාදන භාවිතා කරන්නේ කෙසේද යන්න ගැන කතා කරන්න. සනීපාරක්ෂක තුවා පැළඳිය යුතු ආකාරය ඔවුන්ට පෙන්වන්න. ඔවුන්ට පුහුණුවීමට සලස්වන්න. පළමු ඔසප් වීම කවදා කොතැනකදී වෙයිද කියන්න නොදන්න නිසා මේ කාලයේදී පාසලට සහ වෙනත් තැන් වලට යන දරුවාව හැමවිටම සූදානමින් තියන්න.