ගුටි බැට හුවමාරු කර නොගෙන පාසලේදී වෙන හිරිහැර විසඳගන්න ඕනේ ආකාරය දරුවන්ට මෙහෙම කියලා දෙන්න

පාසලේදී දරුවන්ට සිද්ධ වෙන ශාරීරික, වාචික, මානසික නින්දා හා හිරිහැර (bully) අද කාලයේ බොහෝ පාසල් වල දැක ගන්න පුළුවන්. අතීතයේදී මෙම හිරිහැර කිරීම් ගැන කතා කිරීමට කිසි කෙනෙක් ඉදිරිපත් වුණේ නෑ. ඒ වගේම මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න ඕනේ ආකාරය පිළිබඳව පාසලේදී දරුවන් එක්ක සාකච්ඡා කරන්නෙත් නෑ. එය තහනම් මාතෘකාවක් විදිහටයි ගොඩක් පාසල් වල සළකන්නේ. ඒත් එහෙම හිරිහැරයට ලක් වෙන දරුවෙකුගේ ඉවසීමේ සීමාව පැන්නාම ඇති වෙන බලවත් කෝපය අවසානයේදී උසිගන්වන්නාට පහර දීමට තරම් දුරදිග යනවා.

ප්‍රචණ්ඩකාරී පළිගැනීමක් කියන්නේ එම තත්ත්වය උග්‍ර කරවන දෙයක්. ඒ නිසා ඒක අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කුඩා දරුවන් තවත් දරුවෙක්ව කායික, වාචික හෝ මානසික ආකාරවලින් හිතාමතාම වධහිංසා පැමිණවීම, බිය ගැන්වීම හෝ පීඩාවට පත් කිරීම බරපතළ ගැටළුවක්. ඒ නිසා සමහර දරුවන් පාසල් යාම පවා ප්‍රතික්ෂේප කරන අවස්ථා ඕනේ තරම් තිබෙනවා. කණගාටුවට කරුණක් තමයි ක්‍රීඩා පිටියේ, පන්ති කාමරයේ ඉඳන් සයිබර් මාධ්‍ය හරහා හිරිහැර කිරීම දක්වාම අද කාලයේ එම ගැටළුව අඛණ්ඩව පැවතීම. ඒ නිසා අද අපි ඔබට කියන්නේ ඔබේ දරුවාටත් ඒ වගේ හිරිහැරයක් සිද්ධ වුණොත්, දරුවා තුළ ඒකට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරන්නේ කොහොමද සහ ප්‍රතිචාර දක්වන්න සුදුසු ක්‍රම මොනවාද කියලයි…

 

හිරිහැරයට ලක්වන දරුවෙකුට සහාය වීම

දරුවා ගෙදර ඇවිල්ලා සිද්ධ වුණු හිරිහැරයක් ගැන ඔබට කිව්වොත් එම තත්ත්වය සරලව හිතලා නොසලකා හැරීම සුදුසු නෑ. ඒකෙන් ඒ ප්‍රශ්නයේ සංකීර්ණතාවයන් අවම වෙන්නෙත් නෑ. ඒ නිසා ඒ වගේ අවස්ථාවකදී ඔබ මේ විදිහට දරුවාට ප්‍රතිචාර දක්වන්න ඕනේ :

 

දරුවාගේ කාංසාව අඩු කිරීමට උපකාරී වන විදිහට සන්සුන්ව හා ධනාත්මකව සිටින්න.

සවන් දෙන්න, දරුවාව විශ්වාස කරන්න, දරුවාගේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට ඔබ තුළ තියන කැමැත්ත සහ ඔවුන්ගේ යහපැවැත්ම ගැන ඔබ ගැඹුරින් සැලකිලිමත් වන බව පෙන්වන්න. 

පාසැල් බලධාරීන්ගෙන් ලබා ගන්න පුළුවන් සහය ලබා ගැනීමට දරුවාව ධෛර්යමත් කරන්න, ඔබට ගැටළුවට මැදිහත් වීමෙන් කරන්න පුළුවන් දේවල් ගැන සොයා බැලීමට දරුවා සමඟ පාසලට යාමට ඉදිරිපත් වන්න. ඔබ පාසල සමඟ කරුණු සාකච්ඡා කරන්න එන එකට ඔබේ දරුවා අකමැති වුණත්, ඒක නොසලකා ගුරුවරයා එක්ක කතා කරන්න. පාසැලේ සහාය ඔබ වෙත ලබා ගැනීමට ඔබට දරුවාගේ අවසරය අවශ්‍ය වෙන්නේ නෑ.

මේවායින් විතරක් හිරිහැර කිරීම් විසඳීමට අපහසු වුණත්, පුළුවන් සෑම තැනකම හිරිහැර කරන්නාගෙන් ඈත් වෙලා වෙනත් මිතුරන් සමඟ කාලය ගත කිරීමට දරුවාව දිරිමත් කරන්න. කණ්ඩායමක් එක්ක ඉද්දී හිරිහැර කරන්නන්ට දරුවාව තෝරා ගැනීමට ඇති ඉඩකඩ අඩු වෙනවා. පාසැලේ අලුත් මිතුරන් සොයා ගැනීම දරුවාට අපහසු නම් සහ දරුවා දැනටමත් ඉන්නේ හුදෙකලා වෙලා නම්, ක්‍රීඩා කණ්ඩායම්වලට සම්බන්ධ වීමට හෝ පාසලෙන් පිටත බාහිර ක්‍රියාකාරකම් වලට සහභාගී වීමට ඔවුන්ව දිරිමත් කරන්න. ඒක දරුවාට අලුත් සෞඛ්‍ය සම්පන්න සබඳතා වර්ධනය කර ගන්න වැදගත් වෙනවා.

ඔබේ දරුවාට ලොකු අවදානමක් තියනවා නම් වහාම පාසල අමතන්න. සිද්ධිය බැරෑරුම් ලෙස සලකන්න. මොකද එම සිද්ධ වෙන හිරිහැර නිසා දරුවන්ගේ මානසික සෞඛ්‍යය පිරිහීම හෝ සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවයක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේ සැකයක් ඔබට ඇති වුණොත් දරුවාට වෘත්තීය මනෝවිද්‍යාත්මක සහාය ලබා දෙන්න. එහෙම කරන එක හැම වෙලාවේම ප්‍රායෝගික නැති වුණත්, එම අයහපත් තත්ත්වයෙන් දරුවාව ඉවත් කර ගන්නේ කොහොමද කියන එක ගැන සලකා බලන්න.

 

ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම

දරුවෙකුට මේ වගේ අවස්ථාවකදී එයාගේ ඔරොත්තු දීමේ හැකියාව සහ මානසික ස්ථීරභාවය වර්ධනය කිරීමට දිරිගැන්වීම සඳහා දෙමවුපියන් විදිහට ඔබට කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඔබේ දරුවාට ඒ වගේ වෙලාවකදී මේ ආකාරයේ උපාය මාර්ග ක්‍රියාත්මක කරන්න කියන්න :

 

නැගී සිටීම, වෙනතකට ඇවිදීම සහ ගාණක් නෑ වගේ රඟපෑම හා විශ්වාසයෙන් යුතුව ක්‍රියා කිරීම – දරුවා ඒක අකමැති වුණත්.

The fogging technique, හිරිහැර කරන්නා පවසන දේවල් කල්තියාම අනුමානය කරගෙන සිටීම සහ විවේචන ඇහුනේ නෑ වගේ ඉන්න එක තත්ත්වය මගහරවා ගැනීමට යෝග්‍ය වෙන ප්‍රායෝගික ක්‍රම වෙන්න පුළුවන්.

ඉක්මන් බුද්ධිය භාවිතා කිරීම, හිරිහැර කරන්නා පුදුම කිරීමට හෝ නිරායුධ කිරීමට සුදුසු පිළිතුරු දීම.

වාචික හිරිහැර වලින් බලපෑමක් වෙන්නේ නැති බව පෙන්වීම සඳහා “හා, ඕනේ එකක්, ඔව් හරි, කම්මැලියි” වගේ සාමාන්‍ය ප්‍රතිචාරයක් භාවිතා කරන්න.

අවසාන සීමාවේදී හිරිහැර කරන්නන්ගේ හැසිරීම අනුමත් කරන්න බැරි බවත්, ඔවුන්ගේ හිරිහැර කිරීම් තව දුරටත් නොඉවසන බව ඍජුව කීම.

දුෂ්කර අවස්ථාවන් වලට මුහුණ දෙන්නේ කොහොමද කියලා දරුවෙක්ට උගන්වන එක එයාගේ පාසල් කාලයට විතරක් නෙමෙයි වැදගත් වෙන්නේ. දරුවාගේ අනාගත රැකියා ස්ථානයේ රාජකාරී වලදී සහ වැඩිහිටියෙක් වුණාම එයාගේ ජීවිත කාලය පුරාම මිල කරන්න බැරි යහපත් ආකල්ප සංවර්ධනයක් බවට ඒක පත් වෙනවා. ඒ නිසා ඔබේ මැදිහත් වීම ප්‍රමාද කරමින් බලා සිටින්න එපා. නිවැරදි මානසිකත්වයකින් ඕනෑම ගැටළුවක් විසඳ ගන්න පුළුවන් කියලා දරුවාට කියලා දෙන්න.