Search here...
TOP
ළමා මන​ස

ඔබගේ දරුවා ඔබගෙන් ඈත් කරන ඔබ ගන්නා ‘විනය ක්‍රියාමාර්ග’

අපි ගත කරන ජීවිතයේ විනය පවත්වාගෙන යාමට ඇතැම් විට දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවනවා. විශේෂයෙන් ඔබට කුඩා දරුවන් සිටී නම් විනය පවත්වාගෙන යාම ඇතැම් විට ඉතා දුෂ්කරයි. දරුවන්ගේ ඇතැම් ක්‍රියාවන් ගැන ඉක්මන් විනිශ්චයන්ට පැමිණීම ඇතැම් අසාර්ථක විනය ක්‍රියාමාර්ගයන් වලට දෙමාපියන්ව පොළඹනවා. නමුත් එවැනි ක්‍රියාවන් එතරම් සාර්ථක නැහැ. එමගින් දරුවන් ව්‍යාකූලත්වයට සහ කණස්සල්ලට පත්කරවනවා.

ඒ නිසා දෙමවුපියන් ලෙස දරුවන් හික්මවීමේදී ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙන්නේ කුමක්දැයි සහ කුමන ආකාරයේ ප්‍රතිඵලයක්ද යැයි යන්න ගැන පළමුවෙන් අපගෙන්ම අසා දැනගත යුතුයි. දෙමවුපියන් විසින් තමන් අනුගමනය කරනු ලැබූ ක්‍රමවේදයේ වරද අවබෝධ කර කරගැනීම වැදගත් වෙනවා. එමෙන්ම දෙමවුපියන් තම දරුවන් හික්මවීමේදි අනුගමනය කරනු ලබන වැරදි පියවරයන් කිහිපයක්ද පහතින් දැක්වෙනවා.

ශාරීරිකව දඬුවම් ලබාදීම


පර්‍යේෂණ මගින් දිගින් දිගටම පෙන්වා දෙන ආකාරයට දරුවන්ට ශාරීරික දඬුවම් ලබාදීම එතරම් සුදුසු නැහැ. ශාරීරික දඬුවම් ලබාදීම මගින් දරුවන් හික්මවීමට යාම හේතුවෙන් දරුවන්ගේ මොළයේ ව්‍යුහය වෙනස්වන අතර ධනාත්මක හැසිරීමක් බලාපොරොත්තුවෙන් ශාරීරික දඬුවම් ලබාදීම ඵලදායි ක්‍රමවේදයක් ලෙස පිළිගත නොහැකියි. එමෙන්ම ශාරීරික දඬුවම් ලබාදීම දරුවාගේ හැසිරීම් රටාව කෙරෙහිද බලපෑම් එල්ල කළ හැකියි.

ඔබ දරුවා හික්මවීමට පහරදීම වැනි ශාරීරික දඬුවම් කිරීමෙන් දරුවා වේදනාවට සහ කාංසියට පත්වීමට හේතුවනවා. ඔවුන් ඔබගෙන් දේවල් වසන් කිරීමට උත්සාහ කරනවා. සෑමවිටම දරුවන් හික්මවීමට ශාරීරිකව දඬුවම් ලබාදීම තුළින් ඔබ ඔවුන්ගෙ හැසිරීම් රටාව වෙනස්කර ගැනිමට උපදෙස් ලබාදීම වෙනුවට ඔබගෙන් දරුවාගේ හැඟීම් සැඟවීමට උගන්වනවා.

ඒ නිසා ඔබට ඇත්ත වශයෙන්ම ඔබගේ දරුවා විනයගරුක දරුවකු වීමට අවශ්‍ය නම් වැරදි වලට දරුවාට ශාරීරිකව දඬුවම් දීමට වඩා ඒ වරද ගැන දරුවා සමග සාකච්ඡා කර එහි වරද ගැන වටහා දීම වඩා වැදගත්. උදාහරණ ලෙස ඔබගේ දරුවා තම කුඩා සහෝදරයා සමග සෙල්ලම් කරනා විට තමාගේ සෙල්ලම් බඩුව ගැනීමට එන සහෝදරයාට පහර දෙනවා නම් එවිට ඔබ දරුවා සමග කතා කළ යුතුයි. ඊළඟ අවස්ථාවේ පහරදීමට වඩා ආචාරශීලීව සෙල්ලම් බඩුව ආපසු ඉල්ලා සිටීම හෝ ඔබගේ උදවු ලබාගැනීමට පැමිණෙන ලෙස පවසන්න.

ප්‍රමාණය ඉක්මවා දරුවාගෙන් විනයානුකූල හැසිරීමක් අපේක්ෂා කිරීම

ඇතැම් දෙමවුපියන් ශාරීරික දඬුවම් අනුගමනය නොකළත් දරුවන් හික්මවීමට දැඩි පීඩාකාරී පිළිවෙත් අනුගමනය කරනවා. එමගින්ද දරුවා දැඩි මානසික ආතතියකට ගොදුරු විය හැකියි. උදාහරණ ලෙස ඔබ දරුවාට යම්කිසි කාර්‍ය‍යක නිරතිවීමට වේලාව ලබාදී ඒ කාලය අවසානයේ දරුවා එය කිරීමට අපොහොසත් වුවහොත් දරුවාගේ සෙල්ලම් කරන කාලය අහිමි කිරීම වැනි පීඩාකාරී දඬුවම් ක්‍රමවේදයන් ඇතැම් දෙමවුපියන් දරුවන් හික්මවීමට භාවිතා කරනු ලබනවා. නමුත් එවැනි පීඩාකාරී දඬුවම් ක්‍රමයන් මගින් දරුවා ඔබගෙන් ඈත් වීමත් මානසිකව බොහෝ වේදනවාට පත්වීමත් සිදුවිය හැකියි.

ඒ නිසා දරුවන්ට ඔවුන්ගේ වැරදි හැසිරීම නිවැරදි කරගැනීම සඳහා වෙනත් සුදුසු විනය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ හැකියි. එමෙන්ම දඬුවම් ලබාදෙන කාලය ගැනද සැලකිලිමත් විය යුතුයි. උදාහරණ ලෙස ඔබට හොරෙන් ශීතකරණයේ ඇති පැණිරස කෑම කා ඇතිවිට නැවතත් අදාල දිනය තුළදීම පැණිරස කෑමට ඉඩ නොදී සිටීමට ඔබට හැකියි. නමුත් මුළු සතියේම ඒ තහනම පැනවීම උචිත වන්නේ නැහැ.

නොගැළපෙන විනය ක්‍රියා අනුගමනය

විනයානුකූල වීමෙහි වඩාත් වැදගත් අංගය වන්නේ නීති රීති හා ප්‍රතිවිපාකවලට අනුගත වීමයි. විශේෂයෙන් කුඩා දරුවන් හැසිරවීමේදි නිශ්චිත ප්‍රතිවිපාකයන්ට වඩා එයට අනුගතවීමයි වැදගත්. නිරන්තරයෙන් නීති පැනවීමත් එයට අනුගත වීම අපේක්ෂා කිරීමත් කුඩා දරුවන් තුළ කාංසිය ඇතිවීමට හේතු වෙනවා. ඒ නිසා වඩාත් සුදුසු වෙන්නෙ දරුවන්ට ඔවුන්ගේ වැරදි පිළිගෙන ඒවායින් ඉගෙන ගැනීමට අවස්ථාව උදාකර දීමත්, මානසික නිදහස ලබාදීමත්. විශේෂයෙන් ඔබගේ දරුවාගේ ඇතැම් හැසිරීම් අනුමත කළ නොහැකි වුවත් ඔහු හෝ ඇය නරක ළමයකු කියා හංවඩු ගසනවාට වඩා දරුවා සමග කතාකර ආදරයෙන් කරුණු තේරුම් කරදීමයි ඔබ කළයුත්තේ.

එමෙන්ම දෙමවුපියන් ලෙස සෑමවිටම සුභවාදීව සහ ධනාත්මකව කටයුතු කිරීමට අමතක නොකළ යුතුයි. ඇතැම් අවස්ථාවන් තුළදී ඔබට දරුවන්ගේ ක්‍රියාවන් සහ හැසිරීම් වලට පරණ පුරුදු ආකාරයටම දඬුවම් දීමට සිතෙන්න ඉඩ තිබෙනවා. නමුත් එය කොතරම් ඔබගේ දරුවාට අනාරක්ෂිතද සහ එය හැසිරවීමේ වෙනත් ආරක්ෂිත ක්‍රියාමාර්ගයන් හි ඇති වටිනාකමත් ගැන නිරන්තර අවබෝධයෙන් කටයුතු කිරීමෙන් ඔබගේත් දරුවාගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කරගත හැකියි.

«

»