ගර්භණී සමයේ යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන කැසීම් තත්ත්වය මොකක්ද?

ඔබ කුඩා දරු පැටියෙක් මෙලොවට බිහි කිටීමට සිටින ගර්භණී කාන්තාවක්ද? එසේ නම් ඔබටත් මේ ගැටලුව ඇති. විශේෂයෙන් ගර්භණී කාල සීමාවේ තුන්වන ත්‍රෛමාසිකය වනවිට බොහෝ මව්වරුන් මෙම ගැටළුවට මුහුණ පානවා. අද Baby and Me අපි කතා කරන්න හදන්නෙ මේ ගැටළුව ගැනයි.

 

මෙයට හේතු වන කාරණා මොනවාද

ගර්භණී සමයේ දී ස්වාභාවිකවම සිදුවන හෝමෝන වෙනස්කම් නිසා යෝනි මාර්ගය අවට යම්කිසි වෙනස් වීම් ඇති වෙනවා. ඔබගේ යෝනි මාර්ගයෙහි බිත්තිවල ඇති ග්ලූකෝස් ප්‍රතිශතය යම්කිසි මට්ටමකින් වැඩි වන නිසා දිලීර සහ බැක්ටීරියා වර්ග ආසාදනය වීම වැඩි වෙන්න පුළුවන්. වගේම තමයි ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යම්කිසි මට්ටමකින් දුර්වල වීම මෙසේ යෝනි මාර්ගය ආශ්‍රිත ආසාදන වැඩි වීමට බලපානවා.

 

දැකිය හැකි රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර

  1. යෝනි මාර්ගය අවට සම කැසීම සහ වේදනාව
  2. යෝනියෙහි තොල් වල ඇති සුළු ඉදිමුම් ස්වභාවය
  3. සුළු වශයෙන් ශ්‍රාවයක් පිටවීම

 

මෙයට ප්‍රතිකාර ලෙස බොහෝ ඖෂධ වර්ග පිටතින් ගැලවීමට වෛද්‍යවරුන් නියම කරනවා. ඔබත් මෙම තත්ත්වයෙන් පීඩා විඳිනවා නම් හැකි ඉක්මණින් ඔබගේ වෛද්‍යවරයා හමු වී උපදෙස් ලබා ගැනීමයි වැදගත් වන්නේ. නිසි වෛද්‍ය අනුමැතියකින් තොරව ඖෂධ වර්ග භාවිතා කිරීමෙන් ඔබගේ කුස තුළ සිටින දරුවාට බලපෑම් එල්ල වෙන්න පුළුවන්. වගේම තමයි මෙම රෝගී තත්ත්වය ඔබගේ කුස තුළ සිටින දරුවාට බලපෑමක් ඇති කරන බවට සොයාගෙන නැහැ.

 

ගර්භණී සමයේදී කැසීම් ස්වභාවය වළක්වා ගන්නේ කෙසේද

යෝනිය ආශ්‍රිතව ඇති වන ආසාදන වළක්වා ගැනීම සඳහා සරල පියවර කිහිපයක් අපි ඉදිරිපත් කරන්නම්. මේ සරල පුරුදු අනුගමනය කිරීමෙන් ගර්භණී සමයේදී පමණක් නෙවෙයි හැමදාම යෝනිය මාර්ගය ආශ්‍රිත ආසාදන වලින් වැළකී සිටින්න ඔබටත් පුළුවන්.

  • වැසිකිළි යාමෙන් පසුව සෑම විටම යෝනි මාර්ගය අවට පිරිසිදු වතුරෙන් සේදීම.
  • ව්‍යායාම කිරීමෙන් හෝ පිහිනීමෙන් පසු හැකි විගස ඔබගේ යට ඇඳුම් මාරු කිරීම.
  • ඔබගේ යෝනි මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයට හොඳින් වාතාශ්‍රය ලැබීම පහසු කරවන කපු යට ඇඳුම් තෝරා ගැනීම. එසේ කිරීම බොහෝ විට දිලීර වැනි තත්ත්වයන් වර්ධනය වන උෂ්ණත්වය සහ තෙතමනය පාලනය කිරීමට උපකාරී වෙනවා
  • ඔබ ගර්භණී කාන්තාවක් නම් යෝනි මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයට සුවඳ විලවුන්, ඩියෝඩ්රන්ට් වර්ග, ෂවර් ජෙල් වර්ග භාවිතා කරන්න එපා. වෙනුවට මෘදු සේදුම්කාරකයක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි යෝනි මාර්ගය ආශ්‍රිතව ප්‍රදේශය අධික උණුසුම් වතුරෙන් සේදීමත් කරන්න එපා.

 

ගර්භණී කාලය යනු කාන්තාවක් විදියට ඔබ කායිකවත් මානසිකවත් අපහසුතාවයකින් තොරව සැහැල්ලුවෙන් ගත කළ යුතු කාලයක්. ඉතින් මෙවැනි සුළු අපහසුතාවයන් මගින් ඔබගේ මානසික සුවය බිඳ වැටෙන්න පුළුවන්. Baby and Me අපි හැමවිට විටම උත්සාහ කරන්නේ ඔබට ඔබගේ ගර්භණී කාලය ඉතාමත් සුවපහසුවෙන් ගත කරන්න පුළුවන් පියවර ඔබ සමඟ බෙදා ගන්නයි.