ඔබේ දරුවා වඩා හොඳින් තේරුම් ගැනීමට උපදෙස් (2 කොට​ස)

මේ ලිපියේ පළමු කොටස පහත ලින්ක් එකෙන් කියවන්න!

ඔබේ දරුවා වඩා හොඳින් තේරුම් ගැනීමට උපදෙස් – 1 කොටස

 

ඔබේ දරුවාගේ ජීවිතයේ මුල් වසර කීපය, එහෙමත් නැත්නම් ළමා කාලය කියන්නේ දරුවාගේ මානසික, සමාජීය හා ශාරීරික යහපැවැත්ම සඳහා ඉතා වැදගත් කාල සීමාවක්. දරුවන් පසු කාලීනව වැඩිහිටියෙක් බවට පත් වුණාට පස්සේත් ඔවුන්ගේ පෞරුෂත්වයට සමස්ත බලපෑමක් ඇති කරන්නේ ළමා කාලයේ අත්දැකීම් තමයි. මොළයේ වර්ධනය සඳහා ද දරුවෙකුගේ මුල් වසර කීපය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බව පර්යේෂණ වලින් අනාවරණය වෙලා තිබෙනවා. 

 

ඒ නිසා දරුවෙක්ට දෙමව්පියන් සමඟ මෙන්ම බාහිර ලෝකය සමඟ ඇති මුල් අත්දැකීම් ඔවුන්ගේ අනාගත ශාරීරික, සංජානන, මානසික හා සමාජ සංවර්ධනයට තදින්ම බලපානවා. ළමා මනෝ විද්‍යාව අවබෝධ කර ගැනීමේ වැදගත්කම ගැන සහ ඔබේ දරුවාව හොඳින් තේරුම් ගන්නේ කොහොමද කියන කාරණය ගැන මෙහි පළමු ලිපියෙන් අපි ඔබව දැනුම්වත් කළා. එම උපදෙස් වල දෙවෙනි කොටසයි මේ…

 

1. කතා කරනකොට පූර්ණ අවධානය යොමු කරන්න

ඔබේ දරුවා සමඟ කතා කරන අතරතුර නිතරම දරුවාගේ ඇස් දිහා බලමින් කතා කරමින් අක්ෂි සම්බන්ධතා පවත්වා ගන්න. එහෙම කරද්දී එයා කියන දේවල් වලට ඔබ සවන් දෙනවා කියලා ඔබේ දරුවා විශ්වාස කරනවා. ඒ වගේම දරුවා පවසන දේවල් ඔබට අතිශයින්ම වැදගත් බව ඔවුන් තේරුම් ගන්නවා.

 

2. ගෞරවය දෙන්න

 

ඔබේ දරුවා එයාගේ අනාරක්ෂිත හැඟීමක්, එයාව බියට හෝ ලැජ්ජාවට පත් කරන ඕනෑම තත්වයක් ගැන කතා කරනකොට දරුවාට සිනාසෙන්න හෝ සමච්චල් කරන්න එපා. දරුවෙක්ට (විශේෂයෙන් ඔහුගේ නව යොවුන් වියේදී) ඒ විදිහට දෙමවුපියන්ට විවෘත වීම පහසු දෙයක් නෙමෙයි කියලා ඔබ තේරුම් ගන්න ඕනේ. එහෙම කියන්නත් දරුවගේ පැත්තෙන් එයාට විශාල ධෛර්යයක් තිබෙන්න ඕනේ.

 

3. පැහැදිලි කිරීම

 

වයස අවුරුදු 5 – 6 දක්වා දරුවන් කියන්නේ ඔබ විසින් නිර්මාණය කරන ලද සියලුම නීති රීති හා ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා ඔබ ගත්ත තීරණ වලට අනුගත වෙන කොටසයි. නමුත් සැබෑ ගැටළුව  පටන් ගන්නේ දරුවන්ගේ නව යොවුන් වයසේදීයි. ඒ නිසා ගැටලුවකදී ඔබ දොස් කියන්න ඕනේ ඔවුන්ගේ වයසටයි. ඒ වගේ අවස්ථාවන් වලදී ඔබ යම් තීරණයක් ගන්නේ ඇයි කියලා සහ යම් දෙයක් කිරීමට සිද්ධ වුණේ ඇයි කියලා දරුවන්ට හොඳින් පැහැදිලි කරන්න. ඒ මොහොතේදී ඔවුන් ඔබ සමඟ කෝප වෙන්න පුළුවන් නමුත් කාලයත් සමඟ ඔවුන් ඔබේ තත්ත්වය තේරුම් ගනීවි.

 

4. මතයක් ගැනීම

අවශ්‍ය තැනදී දරුවාගේ හිතන විදිහ, දරුවාගේ මතය මොකක්ද කියලා ද විමසන්න. එහෙම කිරීමෙන් දරුවාට වැදගත්කමක් දැනෙන නිසා එයාගේ ආත්ම-වටිනාකම ඉහළ යනවා.

 

5. දරුවාගේ හැසිරීම පිටුපස ඇති හේතු සොයා ගැනීම

 

ඔබේ දරුවා වැරදි ලෙස හැසිරීලා ඇත්නම් හෝ යම් ඍණාතමක හැසිරීමක් පෙන්නුම් කරලා ඇත්නම් එහෙම වෙන්න හේතුව සොයා ගැනීමට උත්සාහ කරන්න. එහෙම කරද්දී දෙමාපියන් වශයෙන් ඔබටත් වැරදුනේ කොතැනද කියලා ඔබට සොයා ගන්න පුළුවන් වෙනවා. එමඟින් ඔබේ දෙමාපිය කුසලතා වැඩි දියුණු කර ගන්නත් ඔබට අවස්ථාවක් ලැබෙනවා.

 

6. ඔවුන්ගේ රුචි අරුචිකම් දැන ගැනීම

 

ඔබේ දරුවා කැමති හා අකමැති දේවල් පිළිබඳ දැනුම ද ඔබට ඔබේ දරුවන්ව වඩාත් හොඳින් තේරුම් ගැනීමට උපකාරී වෙනවා.

 

7. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

 

ඔබේ දරුවාට අවශ්‍ය ආකාරයට එයා දෙයක් ගැන හිතන විදිහ ගැන ඔබට ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න. ඒකෙන් දරුවා සිතන ආකාරය හා දරුවාට අවශ්‍ය දේවල් පිළිබඳව අවබෝධයක් ඔබට ලබා ගන්න පුළුවන් වෙනවා.

 

8. ඕනෑවට වඩා කුතුහල‍යෙන් ඉන්න එපා

හැම දෙමව්පියෙක්ම තමන්ගේ දරුවා නව යොවුන් වියේ පසු වෙද්දී දරුවාගේ පෞද්ගලික ජීවිතයේ වෙන්නේ මොනවාද කියලා දැන ගැනීමට උනන්දු වෙනවා. හැබැයි ඕනෑවට වඩා මේ කුතුහල‍ය තියා ගන්න එක නව යොවුන් දරුවෙක්ට කරදරයක්. මොකද ඔබගේ පැත්තෙන් ඕනෑවට වඩා කුතුහලයෙන් සිටීම නිසා ඔබ දරුවාව විශ්වාස නොකරන බවක් එයාට දැනෙන්න පුළුවන්. මේ තත්ත්වය දිගින් දිගටම ගියොත් ඔබ දෙදෙනා අතර ඇති බැඳීම අවසන් වෙන්නත් පුළුවන්.

 

9. දරුවගේ ආකාරයට සිතන්න

ඔවුන් සමඟ කතා කරනකොට හෝ එකට එකතු වෙලා ක්‍රියාකාරකමක් කරනකොට ඔබත් දරුවන් වගේම සිතන එක වැදගත්. එතකොට දරුවාට ඔබ ගැන හුරුපුරුදු හැඟීමක් ලබා දෙනවා.

 

10. දරුවගේ පරිකල්පනයට පියාපත් ලබා ගැනීමට ඉඩ දෙන්න

 

ඔබේ කුඩා දරුවා සමඟ ඇවිදිමින් සිටිද්දී එයාව නිරීක්ෂණය කරන්න. ඔබ දකින දෙයට වඩා වෙනස් දෙයක් එයා දකින්න පුළුවන්. දරුවා එහෙම කරනකොට එයාව නවත්වන්න එපා. ඒක දරුවාගේ අභ්‍යන්තර ලෝකය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ඔබට උපකාරී වෙනවා.