ගර්භණී කාලයේදී සංචාරය කරනවා නම් මේ විදිහට සූදානම් වෙන්න

ගර්භණී මවක් වුණාම ඉස්සර වගේ කැමති තැන් වලට හිතෙන වෙලාවල් වලදී යන්න බෑ. මොකද ඊට කලින් ඔබට ඔබ ගැන වගේම දරුවා ගැනත් හිතන්න වෙනවා. ඒත් ඒකෙන් කියවෙන්නේ නෑ ඔබට ගර්භණී කාලයේදී ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කියලා. නිසි පූර්වාරක්ෂාවන් සමඟ සංචාරය කළ යුත්තේ කොයි කාලයේද, එන්නත් කිරීම් සහ රක්ෂණය පිළිබඳ තොරතුරු වලින් සන්නද්ධව සිටින බොහෝ කාන්තාවන්ට ඔවුන්ගේ ගර්භණී කාලය තුළ ආරක්ෂිතව ගමන් බිමන් යන්න පුළුවන්. ඒ සඳහා වැදගත් වෙන තොරතුරු සියල්ල අද අපි ඔබට කියන්නම්.

 

ඔබ කොතැනට ගියත්, ඔබට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නම් ඔබේ ගමනාන්තයේදී ඒ සඳහා තිබෙන සෞඛ්‍ය පහසුකම් මොනවාද කියලා සොයා බලන්න. ඔබේ වෛද්‍ය වාර්තා ඔබ සමඟ රැගෙන යාම හොඳ අදහසක්. ඒ නිසා අවශ්‍ය වුණු වෙලාවට කොතනක ඉන්න වෛද්‍යවරයෙක්ට වුණත් ඔබේ සෞඛ්‍යය ගැන අවශ්‍ය තොරතුරු ලබා ගන්න ඒක පහසුවක් වෙනවා.

 

ගමන් කළ යුතු කාලය

සමහර කාන්තාවන් ඔක්කාරය නිසා හා ගර්භණී අවධියේ පළමු සති 12 තුළ සංචාරය කිරීමට කැමැත්තක් දක්වන්නෙ නැහැ.

ඔබ සංචාරය කළත් නැතත්, ගබ්සා වීමේ අවදානම පළමු මාස තුනේදී සාමාන්‍යයෙන් වැඩියි. ඔබට මේ මොහොතේ සංචාරය නොකර බැරි කමක්, යම් කරදරයක් ඇත්නම් එය ඔබේ මිඩ් වයිෆ් හෝ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න. දිග දුර ගමනක් හෝ විදේශයක සංචාරය කරනකොට ඔබේ ගර්භණීභාවය ඉහළ අවදානමක් ලෙස සලකනවා නම්, ඔබේ වෛද්‍යවරයා හමුවීම නුවණට හුරුයි.

 

ගුවන් ගමන්

ගුවන් ගමන් යෑම සාමාන්‍යයෙන් ඔබට හෝ ඔබේ දරුවාට හානිකර දෙයක් නෙමෙයි. නමුත් ඔබ ගුවන් ගත වෙන්න කලින් ඇති වෙන්න පුළුවන් සෞඛ්‍ය ගැටලු හෝ ගර්භණී සංකූලතා ගැන ඔබේ මිඩ් වයිෆ් හෝ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න.

දරු ප්‍රසූතියේදී ගර්භණීභාවය හා සම්බන්ධ වෛද්‍ය ප්‍රතිකාර, නොමේරූ දරු උපත්, දරුවා රැකබලා ගැනීම සහ ඔබට දරු ප්‍රසූතිය කරන්න වුණොත් නැවත පැමිණීමේ දිනය වෙනස් කිරීමේ පිරිවැය වගේ ඕනෑම සිදුවීමක් සඳහා ඔබේ සංචාරක රක්ෂණයෙන් ඔබව ආවරණය කරන බවට වග බලා ගන්න.

සති 37 කට පස්සේ (ඔබ නිවුන් දරුවන් බිහි වෙන්න නියමිත නම් සති 34 ක් පමණ) ස්වාභාවිකවම දරු ප්‍රසූතියට යාමේ සම්භාවිතාව වැඩි වන අතර සමහර ගුවන් සමාගම් ප්‍රසූතියට ආසන්න කාලයේ ඉන්න ගර්භණී මවුවරුන්ට පියාසර කිරීමට අවසර දෙන්නේ නෑ. මේ පිළිබඳව සමාගම් ප්‍රතිපත්ති දැන ගැනීම සඳහා ඔබ ගමන් කරන්න නියමිත ගුවන් සමාගමෙන් විමසන්න.

ඔබ ගමන් කරන්නේ ගර්භණීභාවයේ 28 වන සතියෙන් පස්සේ නම් ඔබගේ ඔබේ වෛද්‍යවරයා විසින් නියමිත දිනය සනාථ කරමින් ලබා දෙන ලිපියක් ගුවන් සමාගම විසින් ඉල්ලා සිටින්න පුළුවන්. එහෙම සහතිකයක් ගත්තාම ඔබට සංකූලතා ඇතිවීමේ අවදානමක් ගැන බය වෙන්න දේකුත් නෑ.

දුර ගමන් වලදී (පැය පහකට වඩා වැඩි) සාමාන්‍යයෙන් රුධිර කැටි ගැසීම් (deep vein thrombosis, or DVT) සම්බන්ධයෙන් කුඩා අවදානමක් ගර්භණී මවුවරුන්ට තියනවා. ඔබ ගුවන් ගමනක් යනවා නම්, පානය කිරීම සඳහා අවශ්‍ය තරම් ජලය ළඟ තියාගෙන ගමන් කරන්න. සෑම විනාඩි 30 කට වරක් වත් ජලය පානය කරන්න. ඒ වගේම ෆාමසියකින් ආධාරක stockings යුගලයක් ද මිලදී ගන්න. ඒවායින් ඔබේ කකුල් ඉදිමීම අඩු කර ගන්න පුළුවන්.

 

එන්නත්

සමහර එන්නත් (හෙපටයිටිස් ඒ, හෙපටයිටිස් බී, ටෙටනස්, diphtheria හා pertussis) ආරක්ෂිත වන අතර සාමාන්‍යයෙන් ඒවා අවදානම් සහිත ස්ථාන කරා ගමන් කරන ගර්භණී කාන්තාවන් සඳහා නිර්දේශ කරනු ලබනවා.

කෙසේ වෙතත් සජීවී වෛරස් එන්නත් වලින් බහුතරයක් (සරම්ප, මැම්පස්, රුබෙල්ලා, චිකන්-පොක්ස්) නූපන් දරුවාට ආරක්ෂිතයි කියලා සැලකෙන්නෙ නැති නිසා ඒවා නිර්දේශ කෙරෙන්නේ නෑ.

ගර්භණී අවධියේදී ඉන්ෆ්ලුවෙන්සා ඉතා බරපතල රෝගයක් වෙන්න පුළුවන් නිසා සියලුම ගර්භණී කාන්තාවන් සඳහා දැඩි ලෙස නිර්දේශ කරනු ලබන ඉන්ෆ්ලුවෙන්සා එන්නත ගර්භණී කාන්තාවන්ට ආරක්ෂිත වෙනවා.

ප්‍රතිශක්තිකරණ ලබා ගන්න අවශ්‍ය වෙන රටවලට යාමෙන් වළකින ලෙස සාමාන්‍යයෙන් වෛද්‍යවරු උපදෙස් දෙනවා. 

 

මැලේරියා වැළැක්වීම

ගර්භණී සමයේදී මැලේරියාව වැළඳුණොත් තත්ත්වය වඩාත් දරුණු වෙන්න පුළුවන්. ඒකෙන් දරුවාට ද බරපතල අවදානම් ඇති වෙන්න පුළුවන්. ගර්භණී කාන්තාවන්ට මැලේරියාව වැළඳීමේ අවදානම වැඩියි. ඔබගේ සංචාරක ගමනාන්තයේදී මැලේරියාව ඇතිවීමේ අවදානම සහ ඔබට මැලේරියා විරෝධී ඖෂධ අවශ්‍යද යන්න පිළිබඳව ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න. මැලේරියා විරෝධී ඖෂධ ගර්භණී කාන්තාවන්ට ආරක්ෂිත වෙන්නේ නෑ.

 

කාර් ගමන්

ගර්භණී සමයේදී තෙහෙට්ටුව සහ කරකැවිල්ල බහුලව දකින්නට ලැබෙනවා. ඒ නිසා දිනපතා පිරිසිදු ජලය පානය කිරීම, ස්වාභාවික මෙන්ම ශක්තිය ලබා දෙන ආහාර (පළතුරු සහ ධාන්‍ය වර්ග වගේ) අනුභව කිරීම සහ විවේකයක් ලබා ගැනීම සඳහා රථය නතර කිරීම වගේ දේවල් කරන එක වැදගත් වෙනවා. මෝටර් රථය තුළ හොඳින් වාතය සංසරණය වෙන්න ඕනේ. ඒ අතර ඔබේ පියයුරු සහ උකුල අතර හරස් පටියකින් ඔබේ ආසන පටි පැළඳ ගන්න.

තනිවම දිග චාරිකා යන එකෙන් වළකින්න. ඒ වගේම ඔබේ රිය පැදවීම ඔබේ සහකරු සමඟ බෙදා ගන්න.

 

ආසන පටි පැළඳීම

ගර්භණී ඔබ අනිවාර්‍යෙන්ම ආසන පටි පළඳින්න ඕනේ. ඔබ ආසන පටි පැළඳ සිටිනකොට අනතුරකදී ඔබට සහ ඔබේ නූපන් දරුවාට තුවාල වීමේ අවදානම අඩු බව පර්යේෂණ වලින් පෙනී ගිහින් තියනවා.

 

ආසන පටි තදවීම මගින් දරුවාට හානියක් වෙයි කියලා ඔබ කණස්සල්ලට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට එය අපහසුතාවයක් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් නිසි ලෙස පැළඳ සිටින ආසන පටි ඔබේ උදරයට හෝ නූපන් දරුවාට ලොකු පීඩනයක් ඇති කරන්නේ නෑ.

 

කෑම බීම

ගර්භණී සමයේදී කාන්තාවන්ට ආහාර හා ජලයෙන් බෝවන රෝග, බඩේ අමාරුව සහ පාචනය වගේ රෝග වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් තියනවා.

ඔබ ජලය හා ආහාර මගින් බෝවන රෝග ඇති ස්ථාන කරා ගමන් කරනවා නම් ඔබ කන බොන දේවල් ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න. භාවිතා කරන නළ ජලය ආරක්ෂිත ද කියලා නිතරම පරීක්ෂා කරන්න. සැකයක් තියනවා නම් බෝතල් කළ ජලය පානය කරන්න. ඔබේ දත් මදින්නත් බෝතල් කළ ජලය භාවිතා කරන්න. විවිධ බීම වර්ග සහ ඒවාට දාන අයිස් කැට, සලාද සහ නොපිසූ පළතුරු සහ එළවළු ආහාරයට ගන්න එක වළක්වා ගන්න.

 

ඔබ අසනීප වුණොත්, ඔබට බඩගිනි දැනුනේ නැතත් ඔබේ දරුවාගේ සෞඛ්‍යය සඳහා දිගටම ආහාර ගන්න. නිතරම වතුර බොන්න. ගර්භණී සමයේදී බඩේ අමාරුව සහ පාචනය සඳහා වන ඇතැම් බෙහෙත් වර්ග ගර්භණී ඔබට සුදුසු නොවන නිසා හැකි ඉක්මණින් වෛද්‍යවරයක් හමුවන්න.