දරුවන් තුළ ඇති ලැජ්ජාශීලී බව හරියට වටහාගමු

දරුවා ලැජ්ජාශීලී වුණොත් පහසුවෙන් මිතුරන් ඇති කර ගන්නේ නැහැ. මේ ගැන ඔබ කරදර විය යුතුද?

ළමයින් තුළ ඇති වන ලැජ්ජාව සාමාන්‍ය දෙයක්. මෙය බොහෝ දෙමව්පියන්, විශේෂයෙන් සමාජශීලීබවට වැඩි වටිනාකමක් ලබා දෙන දෙමවුපියන් සැලකිල්ලට ගන්න කාරණයක්. සමහර දරුවන් කටුක අත්දැකීම් නිසා ලැජ්ජාවට පත් වෙනවා. නමුත් බොහෝ දරුවන් උපතින්ම ලැජ්ජාශීලීයි. ඇතැම් ළමයින්ට සමාජීය අවස්ථාවන් සහ අන්තර්ක්‍රියා භයානක ලෙස පේන්න පුළුවන්. ඔවුන් අලුත් මිතුරන් සමඟ සම්බන්ධ වූ විට, ඔවුන්ට සහනයක් දැනෙන්නේ කලාතුරකින්. සාමාන්‍යයෙන්, ඔවුන් නුහුරු නුපුරුදු අය වෙතට පළමුවෙන් ළඟා වීමට වඩා මිත්‍රත්වයක් අත්හැරීමට කැමැත්තක් දක්වනවා. මෙම ලැජ්ජාශීලී දරුවන්ගෙන් ඇතැම් දරුවෙක් මානසිකව පීඩාවට පත්වෙන්න පුළුවන්.

 

දැඩි ලැජ්ජාව

සමහර අවස්ථාවල ලැජ්ජාව විසින් දරුවා අක්‍රීය කරන්න පුළුවන්. අතිශයින් ලැජ්ජාශීලී දරුවන් බොහෝ විට පන්ති කාමරයේ සහ ක්‍රීඩා පිටියේ සිටින ඔවුන්ගේ සම වයසේ මිතුරන් සමග සම්බන්ධ වෙන්නේ නැහැ. මෙම ලැජ්ජාශීලී රටාව පවතින තාක් කල් දරුවන්ට වෙනස් වීමට අමාරුයි. ලැජ්ජාව වැඩි වැඩියෙන් ඇති දරුවන් සමාජ ක්‍රියාකාරකම් මඟහරින අතර අවසානයේ සමාජයත් සමග ගැවසෙන වැඩිහිටියෙකු විදිහට ඵලදායී ලෙස ක්‍රියා කිරීමට හැකියාවක් නැහැ. ඔබේ දරුවාගේ ලැජ්ජාව නිසා කාංසාව ඇති කරයි. ඒ වගේ අවස්ථාවල ළමා මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකුගේ ඇගයීම උපකාරී වෙනවා.

 

කාලය අවශ්‍යයි

බොහෝ ලැජ්ජාශීලී දරුවන්, යම්කිසි කාලයක් ගතවීමත් සමග සබඳතා සහ සමාජ ක්‍රියාකාරකම් සමග හොඳින් කටයුතු කරනවා. නමුත් තවදුරටත් සබඳතා ගොඩනඟා ගැනීමට හා පවත්වා ගැනීමට අපහසු දරුවන් ගැන වැඩි සැලකිල්ලක් හා අවධානයක් ලැබිය යුතුයි. දෙමව්පියන්ගේ සාර්ථක මැදිහත් වීමෙන් ලැජ්ජාශීලි බව මග හරවා ගැනීමටත් සමාජීය අවස්ථාවන්ට දරුවන් යොමු කරන්නත් පුළුවන්.

 

ප්‍රතික්ෂේප වන දරුවන්

බොහෝ දරුවන් මිතුරන් ඇති කර ගැනීමට කැමති නමුත් සමහරු මිතුරන් ඇති කර ගන්නේ කොහොමද යන්න ඉගෙන ගැනීමට ප්‍රමාද වෙනවා. තවත් සමහරු මිත්‍රත්වය සඳහා ආශාවෙන් සිටියත්, ඔවුන්ව කණ්ඩායමකට සම්බන්ධ කරගන්නේ නැහැ. ඊට හේතුව ඔවුන් අඳින පළඳින ආකාරය, පෞද්ගලික සනීපාරක්ෂාව, තරබාරුකම හෝ කථන බාධාවක් නිසා වෙන්න පුළුවන්. ඔබේ දරුවා කඩාකප්පල්කාරී හෝ ආක්‍රමණශීලී හැසිරීම් පෙන්නුම් කරන්නේ නම් සම වයසේ මිතුරන් විසින් ඔවුන්ව ප්‍රතික්ෂේප කර ඇති බව වටහාගත යුතුයි. මෙම දරුවන් වැඩි කාලයක් තනිවම ගත කිරීමට කැමතියි.

 

නොසලකා හරින ලද දරුවන්

නොසලකා හරින ලද ළමයින් යනු අනෙක් දරුවන් විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු හෝ විහිළුවට ලක් නොකරන නමුත් අවධානයට ලක් නොවීම, කණ්ඩායමකට තෝරාගැනීමේදී අවසානයටම තේරීම, සාදවලට ආරාධනා නොකිරීම වැනි නොසලකා හැරීම් වලට ලක්වන දරුවනුයි. මෙම දරුවන් තනිවූවන් ලෙස හඳුනා ගත හැකි අතර උදාසීන සහ හුදකලාව පිළිකුල් කරන දරුවන් බවට පත් වෙනවා. තවත් සමහරු තනිව සිටීමට කැමැත්තක් දක්වනවා. දරුවන්ට තනිකම දැනෙන අවස්ථාවලදී දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, වෙනත් වැඩිහිටියන් හෝ සුරතල් සතුන් සමඟ කාලය ගත කිරීමේදී වඩාත් පහසුවක් දැනෙයි. බොහෝ විට සමාජ අත්දැකීම් අඩු නිසා ඔවුන්ට සමාජට පිවිසීමට අවශ්‍ය සමාජ කුසලතා සහ ආත්ම විශ්වාසයද නැති වෙයි.

 

දෙමාපියන්ට උපකාර කළ හැකි ආකාරය

සම වයසේ අය සමග අන්තර් ක්‍රියාකාරිත්වයට ලැජ්ජාශීලී දරුවන්ට විවිධ ක්‍රම සහ කුසලතාවයන් අවශ්‍ය වෙනවා. දරුවන් තුළ ස්වභාවයෙන්ම ඇති මෙම කුසලතා හඳුනාගෙන ඒවා වර්ධනය කරගැනීමට දරුවන්ට සහය සැපයීම දෙමාපියන් වශයෙන් ඔබ කළ යුතුමයි. 

 

  • අසාර්ථකත්වය හා කළකිරීම් වලට සාර්ථකව මුහුණ දීම
  • ප්‍රතික්ෂේප කිරීම හා විහිළු කිරීම සමඟ හොඳින් කටයුතු කිරීම
  • කෝපය පාලනය කිරීම
  • සමාව දීම සහ සමාව ඉල්ලීම
  • එඩිතරව කටයුතු කිරීමට සහ ප්‍රතික්ෂේප වීම පිළිගැනීම
  • කළ යුතු විනෝදජනක දේවල් ගැන කියා දීම
  • සෙනෙහස ප්‍රකාශ කිරීම
  • භයානක අවස්ථාවන් වළක්වා ගැනීම
  • තමන්වම ආරක්ෂා කරගන්නා ආකාරය කියා දීම 
  • දරුවට සැනසිල්ල ඇති කිරීම 
  • බෙදාගැනීම
  • ඉල්ලීම් ඉටු කිරීම
  • ප්‍රශංසා කිරීම සහ අගය කිරීම
  • දුර්වලතා සහ අපහසුතා මැද  කටයුතු කිරීම
  • මිතුරෙකු වෙනුවෙන් පෙනී සිටීම
  • උදව් ඉල්ලීම 
  • අන් අයට උදව් කිරීම
  • රහස් රැක ගැනීම 

 

සම වයස් මිතුරන් ඇතිකරගැනීමට අවශ්‍ය මෙම කුසලතා වර්ධනයට ඔබේ උදව් ලැබීමෙන් ඔබේ දරුවා ලැජ්ජාශීලී බවෙන් මිදී සමාජය සමග උරෙනුර ගැටී කටයුතු කරන ක්‍රියාශීලී දරුවෙක් බවට පත්වනු නොඅනුමානයි.