කුඩා දරුවන්ගේ වර්ධනය සඳහා නින්ද අනිවාර්ය අංගයක්. බොහෝ මවුවරුන් තම දරුවාගේ නින්දට බාධා නොවන සාමකාමි පරිසරයක් සකස් කිරීමට නිබඳවම උත්සාහ ගන්නවා. නමුත් ඔබ එයටත් වඩා අවධානයක් යොමුකල යුත්තේ දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙනුයි. විශේෂයෙන් බොහෝ බිළිඳු දරුවන් sudden infant death syndrome (SIDS) තත්ත්වයට ගොදුරුවීමට දරුවාගේ තොටිල්ල තුළ තබන ළදරු නිශ්පාදන හේතුවන බව ඔබ දන්නවාද? විශේෂයෙන් තොටිල්ල තුල ඔබ තබන බ්ලැන්කට්, කොට්ට, බම්පර්, ළදරු සෙල්ලම් බඩු ආදිය අනතුරුදායක වෙනවා. සාමාන්‍යයෙන් ළමා රෝග විශේෂඥවරුන් පවසන ආකාරයට දරුවන්ගේ ආරක්ෂාව සඳහා කිසිදු සෙල්ලම් බඩුවක්, බ්ලැන්කට්, කොට්ට ආදිය නොමැතිව නිදිකිරීම වඩාත් සුදුසු වෙනවා.
එමනිසා තොටිල්ලේ තැන්පත් කිරීම නිසා දරුවාට අනතුරක් ගෙනදිය හැකි එවැනි නිශ්පාදන පිළිබඳව අලුත් දෙමවුපියන් දැනසිටීම වැදගත් වෙනවා..
දරු පැටියාගේ ආරක්ෂාව සඳහා ඔබ තොටිල්ලෙන් ඉවත් කළ යුතු දෑ
1. බ්ලැන්කට් හෝ තොටිල්ලට එළනු ලබන ශීට්
දරුවා නිදි කිරීමට පෙර දරුවාගේ තොටිල්ලට එලනු ලබන ඇතිරිල්ල දරුවාට ඇදීමට නොහැකි පරිදි හොඳින් තදකල යුතුයි. එමෙන්ම දරුවාට මුහුණට දමාගත හැකි බ්ලැන්කට් සහ වෙනත් රෙදි තිබේ නම් ඒවා තොටිල්ලෙන් ඉවත් කල යුතුවෙනවා. ඉතා සැහැල්ලු රෙදිකඩක් පවා අලුත උපන් බිළිඳුන් මුහුණට දමාගත හොත් ඔවුන්ගේ හුස්ම හිරවීමට ඉඩ තිබෙනවා.
2. කොට්ට
බිළිඳු දරුවන්ට නිදාගැනීම සඳහා කොට්ට අවශ්‍ය නොවේ. සාමාන්‍යයෙන් දරුවන් සමතලා මතුපිටක හොඳින් නිදාගැනීමට හුරුවෙනවා. එමනිසා දරුවාගේ ආරක්ෂාව සඳහා කොට්ට තොටිල්ලෙන් ඉවත් කිරීමට මතක තබාගන්න.
3. සෙල්ලම් බඩු සහ පුරවන ලද සුරතල් සතුන්
බොහෝ මවුවරුන් තම දරුවාගේ තොටිල්ල වටා නොයෙකුත් සෙල්ලම් බඩු සහ පුළුන් පුරවන ලද වළසුන්, බෝණික්කන් ආදිය තැබීමට ප්‍රිය කරනවා. නමුත් එවැනි සෙල්ලම් බඩු දරුවාගේ ආරක්ෂාවට තර්ජනයක් ගෙන එනවා. විශේෂයෙන් බිළිඳාට හිස සහ ශරීරය පාලනය කරගැනිමට හුරු වන තෙක් එවැනි දෑ තොටිල්ල තුල තබන්නේ නැතිව දරුවාට පෙනෙන සේ තොටිල්ලෙන් පිටත තියන්න.
4. තොටිල්ල ආවරණය හෝ නෙට්
දරුවා මදුරුවන්ගෙන් සහ වෙනත් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට තොටිලි ආවරණය හෝ මදුරුදැල් ප්‍රයෝජනවත් වුවත් ඒවා දරුවාට අතින් ඇද හෝ සුළඟින් හෝ දරුවා මතට වැටීමෙන් වළකිනවාද යන්න තහවුරු කරගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මන්ද බොහෝමයක් ළදරු මරණ සඳහා තොටිලි ආවරණ වැනි දෑ හේතුවී තිබෙනවා.
5. Sleep Positioner
Sleep Positioner දරුවාට සුව නින්දක් සහ හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමයෙන් ආරක්ෂාව සැළසීමට උපකාරි වන බවට පවසනවා. නමුත් දරුවා යම්හෙයකින් එය තුළ පෙරළුනහොත් දරුවාගේ හුස්ම හිරවීමේ අවධානමක් ඇති බැවින් එය ආරක්ෂාකාරි නිශ්පාදනයක් නොවන බවටයි ප්‍රවීණයන් සඳහන් කරන්නේ. එමනිසා එවැනි නිශ්පාදන තෝරාගැනීමේදි සැලකිලිමත් වීම වැදගත් වෙනවා.
6. Bedside Sleepers
දරුවා රාත්‍රියේ ඇඬුවහොත් හෝ දරුවා පිළිබඳව වඩාත් අවධානයෙන් සිටීමට බොහෝ දෙනා දරුවාගේ තොටිල්ල දෙමවුපියන්ගේ නිදන ඇඳට සම්බන්ධ කර ගන්නව.. මෙය දරුවාගේ ආරක්ෂාව සදහා ගනු ලබන පියවරක් වුවත් හදිසියේ ඔබ නින්දෙන් දරුවා මතට පෙරළුනහොත් හෝ ඔබගේ ඇඳ ආවරණය හෝ ඇඳ ඇතිරිලි දරුවා මතට වැටුනහොත් හෝ දරුවාගේ හුස්ම හිරවිය හැකියි. එමනිසා එවැනි අනතුරු සිදුවීම වැළැක්වීමට දරුවාගේ තොටිල්ල ඔබගෙ නිදන ඇඳ සම්බන්ධ කරගැනීමේදි වඩාත් සැලකිලිමත් වීම වැදගත් වෙනවා.
ඔබේ කුඩා බිළින්දාට අනතුරක් වූ විට පසුතැවෙනවාට වඩා දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වීමයි කළයුතු වන්නේ. එමනිසා බිළිඳු දරුවාගේ තොටිල්ල හෝ නිදන ඇඳ සකස් කිරීමේදි දැඩි සැලකිල්ලක් යොමුකිරීම වැදගත් වෙනවා.