ඔබට වඩාත් සුවපහසු ලෙස නිදා ගැනීමට උපකාර වන ගර්භණී කොට්ට ගැන දන්නවාද?

දරුවෙක් අපේක්ෂා කරන ඔබට ගර්භණී කාලයේදී විශාල මානසික මෙන්ම කායික ශක්තියක් අවශ්‍ය වෙනවා. සියල්ලට වඩා ඔබේ උදරය ඇතුළේ වැඩෙන සුන්දර දරුවා ගැන හිතන්න වෙනවා. නමුත් ඔබට වැඩිපුර විවේකයක් අවශ්‍ය වුණු වෙලාවට ඉක්මණින් සුව නින්දක් ලබා ගන්න එකත් සමහර දවස් වලදී දුෂ්කර වෙන්න පුළුවන්. විශේෂයෙන් දෙවන හා තුන්වන ත්‍රෛමාසිකවලදී ගොඩක් අම්මලාට පරිපූර්ණ විදිහට නින්දක් ලබා ගන්න එක පවා අභියෝගයක් බවට පත් වෙනවා. ඒකට තමයි දරුවන් ලැබෙන්න ඉන්න අම්මලාගේ සුව පහසු නින්ද වෙනුවෙන්ම වර්තමානයේ ගර්භණී කොට්ට (Pregnancy Body Pillows) නිර්මාණය කරලා තියෙන්නේ. ඒ ගැන ඔබට අවශ්‍ය තොරතුරු අපි ඔබට කියන්නම්.

 

ගර්භණී සමයේදී ඔබට Pregnancy Body Pillow එකක් අවශ්‍ය වෙන්නේ ඇයි?

ගර්භණී සමයේදී වඩාත් සුදුසුම සහ නිර්දේශිත ක්‍රමය වෙන්නේ වම් පැත්තට නිදා ගන්න ක්‍රමයයි. ඒ වගේම පැත්තට නිදා ගැනීම තමයි ඔබේ ගර්භණී සමයේදී නිදා ගන්නකොට තියන එකම විකල්පයත්. නමුත් ඔබේ වැඩෙන උදරය නිසා ඔබේ ඉණ සහ පිටුපස ප්‍රදේශ වලටත් වැඩි පීඩනයක් ගෙන එන්න පුළුවන්. Pregnancy Body Pillow එකක් අවශ්‍ය වෙන්නේ ඒ නිසායි. 

මෙම කොට්ට වර්ගය ඔබේ ශරීරයේ විවිධ ප්‍රදේශ සඳහා විශාල සහායක් ලබා දෙනවා ; ඔබේ කොන්දට, ඔබේ දණහිසට, ඔබේ බඩට සහ ශරීරයේ සියලුම ප්‍රදේශ වලට. ඒ නිසා Pregnancy Body Pillow එකක් භාවිතා කිරීමෙන් ඔබ රාත්‍රියේ නින්දට යනකොට නින්ද වඩාත් සුවපහසු වෙනවා සහ උදේට ශරීරයෙන් ඇති වෙන කැක්කුම් සහ වේදනාවන් වළක්වා ගන්නත් පුළුවන් වෙනවා.

හොඳම ගර්භණී කොට්ටයක් තෝරා ගැනීම ගැන කතා කරද්දී, ඒක ඔබගේ කැමැත්ත මතයි රඳා පවතින්නේ. නමුත් මේ කොට්ටයක් තෝරාගැනීමේදී සලකා බැලිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා.

 

ප්‍රමාණය

ගර්භණී කොට්ට සාමාන්‍ය කොට්ටයකට වඩා විශාලයි. ඒ වගේම V හැඩයේ පටන් U හැඩයේ කොට්ට දක්වා ඔබට උපරිම සුව පහසුවක් ලබා දෙන හැඩයන්ගෙන් ඒවා තියනවා. එමෙන්ම ඔබේ ඉදිරිපස සහ පසුපස එම කොට්ටය විසින් හොඳින් රඳවා ගන්නවා. ඔබ දෙදෙනාගේ ඇඳේ කොපමණ ඉඩක් ඒ සඳහා වෙන් කරන්න පුළුවන් ද කියන කාරණයත් මිලදී ගන්න කලින් ඔබේ සැමියා සමඟ කතා කරන එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක්.

 

හැඩය

සමහර කොට්ට ඔබේ හිස යට සහ දණහිස අතර වක්‍රාකාරව හොඳින් යට වන අතර අනෙක් ඒවා ඔබේ සිරුරට සමාන්තරව තියනවා. තවත් ගර්භණී කොට්ට වල බම්ප් එකක් ඇති අතර එමඟින් ඔබේ උදරයේ නෙරා ඒමට පහසුවක් ලබා දෙනවා. ඔබට නිදා ගන්න යද්දී වැඩිම සහනයක් දැනෙන ඉරියව්ව අනුව සුදුසු හැඩය තෝර ගන්න. ඔබ සලකා බැලිය යුතු තවත් සාධකයක් තමයි ඔබ බොහෝ විට රාත්‍රී කාලයේ නිදාගෙන සිටින පැත්ත මාරු කරනවා නම් (සහ ඔබේ උදරය නෙරා ඒම නිසා දුෂ්කර වුණත් ඒක එහෙම වෙන බව සැලකිල්ලට ගන්න), ඔබට U හැඩැති කොට්ටයක් තෝරා ගන්න පුළුවන්. ඔබ ඉරියව්ව වෙනස් කරන සෑම අවස්ථාවකම එය නැවත නැවත සකස් කළ යුතු වෙන්නේ නෑ.

 

අමු ද්‍රව්‍යය

ඔබට ශරීරය නිතරම උණුසුම් නම් පොලියෙස්ටර් වලින් සාදන ලද ගර්භණී කොට්ටයක් වෙනුවට කපු ආවරණයක් සහිත කොට්ටයක් තෝර ගන්න. 

 

අපි මෙම ලිපියෙන් සඳහන් කරලා තියන ගර්භණී කොට්ට වලට අමතරව ඔබේ ඕනෑම නිදි ශෛලියකට ගැළපෙන විවිධ හැඩයන්ගෙන් පරිපූර්ණ වර්ගීකරණයක් ද වෙළඳපොළේ මේ වෙද්දී තිබෙනවා. නැත්නම් මේ වීඩියෝ එකේ වගේ ගෙදරදිම එකක් මහගන්නත් පුළුවන්.