ඔබටත් හොඳ දෙමාපියන් වෙන්න අවශ්‍යද? එහෙනම් මේ දේවල් කිරීමෙන් වළකින්න!

ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා දරුවන්ව උස් මහත් කරන්නේ පොඩි කාලයේදී තමන්ගේ දෙමවුපියන්ගෙන් දැක්ක ගති සිරිත්, තමන්ව හදපු වඩපු ආකාරය මත පදනම් වෙලායි. සමහර පුරුදු නම් මේ නූතන ලෝකයේ දරුවන් හදද්දී ගැළපෙන්නේත් නෑ. ඒ නිසා පරණ තාලයේ ක්‍රම වලින් නවීන ලෝකයේ දරුවන් හදන්න වඩන්න ගියාම බොහෝ දෙමවුපියන් ව්‍යාකූල භාවයට පත් වෙන අවස්ථා ද උදා වෙනවා. ඒ වගේම ඕනෙම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කැමතියි තමන් බුද්ධිමත් හා යහපත් දෙමව්පියන් වශයෙන් දරුවන් විසින් හා සමාජය විසින් හඳුන්වනවාට. ඔබටත් ඕනේ ඇත්තටම ඒ විදිහේ මවුපියන් බවට පත් වෙන්න නම් කළ යුතු දේවල් සහ වළක්වා ගත යුතු දේවල් මෙන්න.

 

දරුවෙක්ට දෙමාපිය රැකවරණය ලබා දෙනවා කියන්නේ පහසු දෙයක් නෙමෙයි. ඒ සඳහා විශාල කාලයක් හා වෑයමක් අවශ්‍ය වෙනවා. 

අප ජීවත් වෙන්නේ වේගවත් ලෝකයකයි. මෙම තත්ත්වය තුළදී දෙමාපිය ශෛලීන් ද වෙනස්කම් වලට භාජනය වෙලා ඉවරයි. නමුත් දරුවන්ගේ අවශ්‍යතා පවතින්නේ ඒ ආකාරයටමයි. සෑම දරුවෙකුටම ආරක්ෂාව, කරුණාව, සහයෝගය සහ ආදරය ලැබෙන පරිසරයක් විතරයි ඕනේ. බොහෝ දෙමව්පියන් තමන්ගේ දරුවාට ඒ තත්ත්වය ලබා දීමට වෙහෙස මහන්සි වෙලා වැඩ කරන බව ඇත්​ත. නමුත් ඒත් එක්කම ඔබ තේරුම් ගන්න ඕනෙ ඔබේ දරුවාටම සුවිශේෂී වෙච්ච පෞරුෂයක්, කැමති අකමැති දේවල් සහ අරමුණු තියෙන්න පුළුවන් බ​ව. ඔබේ දරුවා​ව ඔබ කැමති යම් මාවතකට තල්ලු කිරීමට ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් වඩා වැදගත්ම දෙය තමයි දරුවෙක්ව තේරුම් අරන් ඔහුට හෝ ඇයට ලෝකය සමඟ ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් ආකාරයට හැදීම සහ ඔවුන්ගේ අරමුණු සාර්ථකව ඉටු කර ගන්න සමත් දක්ෂ පුද්ගලයෙක් බවට පත් කරන්න ඔවුන්ට උපකාර කිරී​ම.

 

හොඳ දෙමාපියන් වෙන්න

හොඳ දෙමාපියන් වෙන්න නම් අපයෝජන, ඔබෙන් වෙන නොසලකා හැරීම් හෝ අධික ලෙස දඬුවම් ලබාදීම්වලට දරුවා ගොදුරු නොකරන්නට වග බලාගන්න ඕ​න. ඔබේ දරුවාගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය පළමු ප්‍රමුඛතාව​ය බවට පත් කරගන්න. ඔවුන්ගේ මානසික යහපැවැත්මට සහාය වීමටත්, ඔවුන් තුළ නිවැරදි සමාජ කුසලතා ඇති කිරීමටත් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. දරුවන්ගේ බුද්ධිමය සංවර්ධනය සඳහා ඔවුන්ට නිවැරදි උත්තේජක සපයන්න ඔබ උත්සාහ කරන්න ඕනේ. සංවේදී හා උණුසුම් මවක් පියෙක් වෙන්න. මේ සියල්ල ඔවුන් වැඩෙනකොට සමාජයේ වගකිවයුතු සහ සාර්ථක පුරවැසියන් වීමට ඔවුන්​ට උපකාරී වෙනවා.

 

ඔබ වැළකී සිටිය යුතු දෙමාපිය ශෛලීන් 

ඔබේ දරුවාට හොඳම දේවල් දෙන්න අවශ්‍ය නම් ඔබ මග හැරිය යුතු දෙමාපිය ශෛලීන් කිහිපයක් තිබෙනවා. මෙන්න ඒවායින් කිහිපයක්.

 

පමණට වඩා අවධානය යොමු කිරීම

දරුවන්ට නිසි අවධානය ලැබිය යුතුමයි. ඒත් සමහර දෙමවුපියන් අවශ්‍ය පමණටත් වඩා දරුවන් ගැන වධ වෙනවා. ඔවුන්ව උවමනාවටත් වඩා පරිස්සම් කරන්න, ඔවුන්ගේ ජීවිතවලට පමණටත් වඩා ඇඟිලි ගසමින් බලපෑම් කරන්න පෙළඹෙනවා. ඒක දරුවාගේ පෞරුෂයට හානියක් වෙන්න ඉඩ තියන වැඩක්. ඔවුන්ගේ ආත්මාභිමානයටත් එවන් දෙමවුපිය ශෛලීන් අහිතකරව බලපානවා.

 

අවධානය මද බ​ව

මේ​ක කලින් සඳහන් කරපු මාපිය ශෛලියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්, ඒකේ අනෙක් අන්තයයි. මෙහිදී මේ වගේ දෙමවුපියන්ට තමන්ගේ දරුවා වැඩෙන කාලය තුළ දෙමාපියන් විදිහට තමන් මැදිහත්වීම් කරන්න ඕනේ කොහොමද කියලා අවබෝධයක් ඇත්තේ නෑ. මේ ආකාරයේ දෙමව්පියන්ගේ දරුවන් තුළ චර්යාත්මක ගැටළු ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ වගේ දරුවන් ඔවුන්ගේ සම වයසේ මිතුරන්ගෙන් වැඩිපුරම ආදර්ශ අරගෙන ඔවුන්ව අනුගමනය කරන්න පෙළඹෙනවා. නිසි දෙමාපිය මගපෙන්වීමක් නැති මෙවන් දරුවන් වැරදි මාර්ගවලට යොමු වන්නටත් ඉඩ තියනවා.

 

ඔබ අනුගමනය කිරීමට සුදුසු නිවැරදි මාර්ගය

ඔබේ දෙමාපිය ශෛලිය තුල ඔබ සමබරතාවයක් සොයා ගන්න ඕනේ. දරුවන් වෙනුවෙන් හොඳයි කියලා හිතෙන ඔබට වඩාත් සුදුසු දේ කරන්න. නමුත් ඔබ දරුවන්ට ආදරයෙන් හා ඔවුන් ළඟ ස්ථිර වශයෙන්ම ඉන්න වග බලාගන්න. ඔබේ දරුවාගේ අභිමතාර්ථයන්, අරමුණු ලුහුබැඳීමට ඔහුට/ඇයට ප්‍රමාණවත් නිදහසක් ලබා දෙන්න. දරුවන් වැඩෙද්දී එයාලාව ස්වාධීන කරන්න උත්සහ කරන්න. දරුවාගේ ජීවිතයේදී මුහුණ දෙන්න වෙන පරාජයන් වලදී, අභියෝග වලදී ඔබ මැදිහත් වෙලා එයාලාව ආරක්ෂා කිරීමට උත්සාහ කරන්න එපා. මොකද ඒ අවස්ථා වලින් පවා දරුවන්ට වටිනා පාඩම් ඉගෙන ගන්නවා.