කාන්තාවන්ට ගරු කරන හැටි ගැන කුඩා කාලයේදීම ඔ​බේ පුතාට කියලා දෙන්න

ගෞරව කිරීම කියන්නේ දරුවෙක් හොඳින් ඉගෙන ගන්න අවශ්‍ය, අනාගතයේදී මානුෂික මෙන්ම බුද්ධිමත් වැඩිහිටියෙක් බවට වෙන්න අත්‍යවශ්‍ය උසස් ගුණාංගයක්. ඒ නිසා අනිත් මිනිස්සුන්ට ගෞරව කිරීම ගැන හැම දරුවෙක්ටම ඉතා කුඩා අවධියේ ඉඳන්ම උගන්වන්න පටන් ගන්න ඕනේ. විශේෂයෙන්ම පුතාලා ගැන අපි අද කතා කරන නිසා අම්මා සහ පුතා අතර ඇති කර ගන්න ශක්තිමත් බැඳීම ගොඩක් වැදගත්. මොකද ඒ වගේ පිරිමි දරුවන් තමන්ගේ ළමා කාලයේ ඉඳන්ම කාන්තාවන්ට ගරු කරන්න හොඳින් ඉගෙන ගන්නවා. පුතාලට කාන්තාවන්ගේ ගරුත්වය ගැන ඉගැන්වීමට හොඳම ක්‍රමයත් ඒකයි. ඔබටත් පුතෙක් ඉන්නවා නම් ඒ වගේ ගෞරවණීය පුරුදු ඇති කරවන්නට උදව් කර ගන්න පුළුවන් උපදෙස් හතක් මෙන්න :

 

සැමට ගෞරවය, කරුණාව සහ දයානුකම්පාව දක්වන්න උගන්වන්න

මේ ලෝකයේ ජීවත් වෙන හැම මනුස්සයෙක්ම ගෞරවය, කරුණාව සහ දයානුකම්පාව ලැබීමට සුදුසුයි. කුඩා කාලයේ ඉඳන්ම ඔබේ පුතාට මෙම කාරණය කියලා දෙන්න. ඒවා කිසිම ලිංගභේදයකට විශේෂිත නොවන පොදු මානව ආචාර ධර්මයන් කියලා එතකොට එයා පොඩි කාලයේ ඉඳලාම ඉගෙන ගනියි. පුතා වැඩෙනකොට මෙම මුල්ම පාඩමේ ආකාරයට කිසිම වෙනස්කමක් නොසලකා හැම මනුස්සයෙක්ටම ගෞරවයෙන් සළකන්න ඉගෙන ගන්නවා. ඔබ දෙදෙනාගේත් අන්‍යෝන්‍ය ආදරය හා අවංක ගෞරවය එකිනෙකාට දක්වන්න. ඒ හරහා දරුවාගෙන් ඔබටත් ඉබේම ගෞරවය ලැබෙනවා.

 

කාන්තාවන්ට ගරු කරන ධනාත්මක පිරිමියෙක් වෙන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න

ළමයින් ඇදහිය නොහැකි තරම් අනුකරණය කරන්න දක්ෂයි. ඒ නිසා කුඩා අවධියේදී ඔවුන් දකින දේවල් එක්ක දැඩිව බැඳෙනවා. ඒ නිසා එයා ආශ්‍රය කරන පිරිමි පුද්ගලයන්ගෙන් ද කාන්තාවන්ට ගරු කරන ධනාත්මක පිරිමි චරිතය නිරූපණය වෙනවා නම් ඔබේ පුතාත් ඒ යහපත් හැසිරීම් අනුකරණය කරනවා. තාත්තා, සීයා, ගුරුවරුන්, පුහුණුකරුවන්, පූජ්‍ය පක්ෂය සහ ඔබේ පුතා විසින් අගය කරන අනෙකුත් වැඩිහිටි පිරිමි චරිත ඔක්කොමලා කාන්තාවන්ට ගරු කරන අපූරු උදාහරණ වීම අවශ්‍යයි. ඒ වගේම ඔබට හෝ වෙනත් කාන්තාවකට අගෞරව කරන පිරිමියෙක් සමාජයේදී දැක්කොත්, ඔවුන් සමඟ හැසිරෙන්න ඕනේ ආකාරය සහ ඒකෙන් පුතාට ඉගෙන ගන්න පුළුවන් පාඩම් ගැන ඔබ පුතා එක්ක සාකච්ඡා කරන්න.

 

හැඟීම් ප්‍රකාශ කිරීමට ඔහුට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කරන්න

ඔබේ පුතාව හැඟීමි දැනීම් හිර කරගෙන ඉන්න සාම්ප්‍රදායික පිරිමියෙක් විදිහට හදන්න එපා. ඒකෙන් දරුවාට වෙන්නේ අයහපතක්. පිරිමි දරුවන්ට වුණත් තමන්ගේ හැඟීම් විවෘතව ප්‍රකාශ කරන්න නිදහස තිබෙන්න ඕනේ. විශේෂයෙන් දෙමාපියන් විදිහට ඔබ දෙපළට ඕනේම දෙයක් කියන්න ඔවුන්ට ඉඩ දෙන්න. ඒ වෙලාවට ඔබ පුතාව හොඳින් පිළි අරගන්න ඕනේ සහ එයාගේ හැඟීම් ගණන් නොගෙන ඉන්න එපා. එතකොට එයාගේ ඍණාත්මක හැඟීම්, කාංසාව සහ කලකිරීම් ගැන කිව්වාම ඒවා නැති කරගන්න ඔබ එයාට උදව් කරනවා කියලා දරුවා දැනගන්නවා. හැඟීම් ගැන කතා කිරීම දරුවන්ගේ මනස සෞඛ්‍ය සම්පන්න කරවනවා. ඒ වගේම ඔබේ පුතාත් අනාගතයේදී වඩාත් දයානුකම්පිත හා කාන්තාවන්ට ගරු කරන පිරිමියෙක් විදිහට කටයුතු කරයි. මතක තබා ගන්න, ඕනෑම දරුවෙක් ගොඩාක් සංවේදීයි. 

 

සැලකිලිමත් සහ සහායක මිතුරෙක් වෙන්නේ කොහොමද කියලා ඔහුට පෙන්වන්න

පිරිමි ළමයින් හා ගැහැණු ළමයින් සමඟ මිතුරුකම ඕනේම දරුවෙක්ට අත්‍යවශ්‍යයි. මිත්‍රත්වයන් වර්ධනය කරගෙන පවත්වාගෙන යාම, වෙනත් කෙනෙකුගේ ආශ්‍රය භුක්ති විඳින්න පුළුවන් ආකාරය, අනිත් අයගේ රුචි අරුචිකම්, අදහස් හා මතවාද පිළිගැනීම සහ ඒවා ගැන එකඟතාවක් ඇති කර ගන්නේ කොහොමද යන කාරණා ගැන දරුවන් ඒ හරහා ඉගෙන ගන්නවා. මිත්‍රත්වය හරහා අනිත් අය ගැන සැලකිලිමත් වීමට සහ අනෙක් අයට සහයෝගය දැක්වීමට ඔබේ දරුවාට අවස්ථාව ලබා දෙනවා. විශේෂයෙන්ම ඒක ඔහු කාන්තා පාර්ශවය එක්ක අනාගතයේදී පවත්වන සබඳතා වලට ද අත්‍යවශ්‍ය වෙනවා.

 

අනිත් අය ගැන සැළකිලිමත් වෙන හැටි උගන්වන්න 

ඔබේ පුතාට සෑම අවස්ථවකදීම අනික් අය ගැන සැළකිලිමත් වෙන්න ඕනේ ආකාරය ගැනත් කියලා දෙන්න. දරුවාගේ එම හැසිරීම් දිරි ගැන්වීම හරහා ඔහු තුළ අනාගතයේදී වැදගත් “මහත්මා ගති ගුණ” පිරුණු තරුණයෙක් නිර්මාණය වෙනවා. උදව් අවශ්‍ය මිතුරෙක්ව සැනසීම හෝ උපකාර කිරීම, අනිත් අයට දොරවල් ඇරලා දීම, රෝගී වුණු මිතුරෙක්ව සතුටු කිරීම, තමන් සතු දෙයක් පාවිච්චි කරන්න තව කෙනෙක්ට ලබාදීම ආදී අහඹු කරුණාවන්ත ක්‍රියාකාරකම් හුරු කිරීමෙන් ඔහු තුළ මහත්මා ගතිගුණ වැඩෙනවා. මෙම හැසිරීම් සියලු දරුවන්ට උගන්වන්න ඕනේ. නමුත් කාන්තාවන්ට ගරු කිරීමට පුතුන්ට ඉගැන්වීමේදී ඒවා විශේෂයෙන් උපකාරී වෙනවා.

 

නිවසේ සියළු වැඩ සඳහා ඔහුව සම්බන්ධ කරගන්න

ආහාර පිසීම, රෙදි සේදීම, පිරිසිදු කිරීම සහ පවුලේ වැඩවලට උදව් කිරීම යන සියල්ල ඔබේ පුතාට සම්බන්ධ කරගන්න පුළුවන් අංශ වෙනවා. ඔබ අම්මා විදිහට පවුලේ දරුවන් රැක බලා ගැනීමේ හා නිවසේ අනෙකුත් වැඩ කටයුතු කිරීමේ සාම්ප්‍රදායික කාර්‍යයන් ඉටු කළත් ඒවා සියල්ලම ගැන ඔබේ පුතා ද දැනුවත්ව ඉන්න ඕනේ. මොකද ඒවා කාන්තාවකට උරුම වැඩ කියලා පුතාලා පුංචි කාලයේ ඉඳන්ම හිතන්න පුරුදු වුණොත් ඒක ලොකු වැරැදි වැටහීමක් වෙනවා.

 

සෙනෙහස ධෛර්යමත් කරන්න සහ ආදර්ශයක් වෙන්න

ඔබේ මවක් නම් දරුවන්ගේ පියා වන ඔබේ සැමියා ඔබ සහ දරුවන් සමඟ ආදරයෙන් බැඳීලා ජීවත් වීම පුතාලාට එයාලාගේ ජීවිතයේ පසුකාලයේදී කාන්තාවන්ට ආදරයෙන්, ගෞරවයෙන් හා හැඟීම්බරව සළකන්නට දොර විවර කරලා දෙනවා. ආදරය හා සෙනෙහස ක්‍රියාකාරීව ප්‍රකාශ කිරීම කියන්නේත් සෞඛ්‍ය සම්පන්න දෙයක් සහ කාන්තාවන්ට ගරු කිරීම ඉගැන්වීමට කදිම මාවතක්. 

කාන්තාවන්ට ගරු කිරීම අනිවාර්‍යෙන්ම උගන්වන්න ඕනේ ගුණයක්. මෙම පාඩම හරහා කරුණාව, දයානුකම්පාව, ආදරය, සහයෝගය සහ රැකවරණය ඇතුළු සෑම කෙනෙක්ටම අවශ්‍ය වන විශ්වීය වටිනාකම් ලබා දෙන්න දරුවන් ඉගෙන ගන්නවා. කල්තියාම ඒවා දරුවන්ගේ පෞරුෂයට ඇතුළත් කිරීම මඟින් කාන්තාවන්ට ගරු කිරීමට පුතුන් ඉගෙන ගන්නවා.