දරුවාගේ වයසට අනුව සුදුසු දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් (Daycare එකක්) තෝරාගන්නේ මෙහෙමයි!

ඕනෑම අම්මා කෙනෙක් තමන්ගේ දරුවාව Daycare එකට යවන්න කැමති නැහැ. කොහොමින් කොහොම වුණත් වර්තමානයේදී ආර්ථික තත්ත්වය නිසා අම්මාටයි තාත්තාටයි දෙන්නාටම රැකියාවට යන්න වෙනවා. පොඩ්ඩා උස් මහත් වෙන්නේ ආච්චි සීයා ළ​ඟ එහෙමත් නැති නම්  Daycare එකේ තමයි. අද baby and me අපි ඔයාගේ පොඩ්ඩව Daycare එකට යැවිය යුතු සුදුසුම වයස ගැන තමයි කියන්න හිතුවේ. මේ ලිපිය කියවලා දරුවා වෙනුවෙන් නිවැරදි තීරණයක් ගන්න.

 

දරුවාව Daycare එකට යවනවද නැද්ද යන්න ඔයාගේ පෞද්ගලික තේරීමක් වෙනවා. කොහොම වුණත් බොහෝ අවස්ථාවන්හීදී, එය ඔයාගේ රැකියා කාලසටහන සහ දරුවා මත රඳා පවතිනවා. ඔයා මෙම තීරණය ගැනීමට පෙර ප්‍රශ්න කිහිපයක් ඔයාගේන්ම අහන්න.

 

  1.  මගේ දරුවාට ආගන්තුකයන් සමඟ ඇසුරු කිරීමේදී අපහසුතාවයක් දැනෙනවාද?
  2.  ​ඝෝෂාකාරී පරිසරයක මගේ දරුවා අධෛර්යයට, අපහසුව​ට පත්වේවිද?
  3.  මගේ දරුවා​ට නව පරිසරයකට හෝ ස්ථානයකට පහසුවෙන් හැඩගැසෙන්න පුළුවන් වෙයිද?
  4.  මගේ දරුවා ඔහුගේ වයස් කාණ්ඩයේ ළමයින් සමඟ විවිධ ක්‍රියාකාරකම් හා ක්‍රීඩා වල නිරත වෙයිද?

 

මෙම ප්‍රශ්න වලට සාර්ථක පිළිතුරු තිබේ නම් දරුවා Daycare එකට යැවීම හොඳ තීරණයක් වෙනවා. දරුවාගේ වයස සහ වෙනත් අවශ්‍යතාවන්ට වඩාත් ගැලපෙන Daycare එකක් ඒ සඳහා සොයා ගන්න ඕනේ.

 

දරුවාට Daycare එකකින් ලැබෙන ප්‍රතිලාභ

මවක් තම දරුවා ​හොඳින් රැකබලා ගත යුතු අතර ඇයට බොහෝ දේවල් තම දරුවා වෙනුවෙන් කැප කරන්න​ට වෙනවා. නමුත් බහුතරයක​ගේ වර්තමාන ආර්ථික තත්ත්වයන් එක්​ක මවට සහ පියාට යන දෙදෙනාටම රැකියාවක නිරත වෙන්න සිද්ධ වෙනවා. එනිසා අම්මා කෙනෙක්ට නිවසේ රැඳී සිටිමින් තනියම දරුවා රැකබලා ගැනීම අපහසු වෙනවා. දෙමව්පියන්ට ඉතිරිව ඇති එකම විකල්පය වන්නේ තම දරුවා Daycare එකට යැවීමයි. Daycare එකක තිබෙන වාසි පහත පරිදියි.

 

ඔයාගේ වැඩෙන දරුවාට වඩා හොඳ සමාජ පරිසරයක්, භාෂාව සහ වෙනත් කුසලතා වර්ධනය කර ගැනීමට මෙය හොඳ ස්ථානයක්. එමෙන්ම හොඳ මට්ටමේ Daycare එකකදී සුදුසුකම් ලත් වෘත්තිකයින් පිරිසක් මගින් දරුවාට අවශ්‍ය ආරක්ෂාව සහ අවධානය හොඳින් ලැබෙනවා.

ඔයාගේ දරුවා තමන්ගේ වයස් කාණ්ඩයේ ළමුන් සමඟ නොයෙකුත් ක්‍රියාකාරකම්ව​ල යෙදෙන අතර අධ්‍යාපනයට වඩා හොඳින් සූදානම් වෙන්නට මෙය බලපානවා.

දරුවා කුඩා කාලයේ සිටම දෙමාපියන්ගෙන් ඇත්ව සිටීමට පුරුදු වන විට වෙන්වීමේ කාංසාව අඩු විය හැක. ඒ වගේම දරුවාගේ ස්වාධීන ගති ලක්ෂණ දියුණු වීමටද මෙය බලපානවා.

 

දරුවා සඳහා Daycare එකක් තෝරාගැනීමේදී මතක තබා ගත යුතු කරුණු

මාස 1 – 12 වයසේ ළදරුවෙකු සඳහා Daycare එකක් තෝරාගැනීමේදී පොඩ්ඩා වෙනුවෙන්ම විශේෂ පුද්ගලික පහසුකම් සපයන ස්ථානයක් සොයා ගන්න. මේ වයසේදී දරුවාගේ උවමනා එපාකම් වෙනුවෙන් හොඳ අවධානයක් තිබීම අත්‍යාවශ්‍යයි. තවද මේ වයසේ ළදරුවන්ට ආරක්ෂිත හා පිරිසිදු පරිසරයක් අවශ්‍ය වෙනවා. ළදරුවන්ට හොඳින් කෑම කවා පෝෂණය කිරීමට අවශ්‍ය වන නිසා  Daycare එකක් ප්‍රවේශමෙන් තෝරා ගන්න. විටින් වි​ට වෙනත් Daycare වල​ට මාරු කිරීමත් මේ වයසේ දරුවෙක්​ට යෝග්‍ය නැහැ.

 

අවුරුදු 1 – 2 වයසේ කුඩා දරුවන් සඳහා Daycare එකක් තෝරාගැනීමේදී දරුවාව හොඳින් වටහා ගන්නා කෙනෙකු සිටින්න ඕනේ. ඒ වගේම මේ වය​සේ දරුවන් රැකබලා ගන්නා පුද්ගලයින්ට ඉවසීම හා ශක්තිය තිබිය යුතුය. මොකද මේ වයසේ දරුවන් තමන් අවට පරිසරය ගවේෂණය කරන්නට ක්‍රියාකාරීව කටයුතු කරන්න පෙළඹෙනවා. එමනිසා දරුවන්ට වැඩි අවධානයක්, අධීක්ෂණයක් ලබා දීමට තරම් ප්‍රමාණවත් සේවකයන් පිරිසක් සිටින ස්ථානයක් මේ වයසේ දරුවන් වෙනුවෙන් තෝරාගන්න.

 

අවුරුදු 3 – 5 වයසේ පෙර පාසල් දරුවන් භාෂාව, සමාජීය සහ වෙනත් කුසලතා වේගයෙන් ඉගෙන ගන්නවා. ඒ නිසා නව නිපුණතා ලබා ගැනීමට සුදුසු ස්ථානයක් වෙන්න ඕනේ. දරුවා​ගේ ආරක්ෂාව සහතික කරන ස්ථානයක් වී​ම වගේම, අලුත් නිපුණතා සහ කුසලතාවයන් ඉගෙන ගැනීමට පහසුකම් සපයන සහ හොඳ සුදුසුකම් ලත් වෘත්තිකයින්ගෙන් යුතු Daycare එකක් තෝරාගැනීම මේ වයසේ දරුවෙක්ට ඉතා වැදගත්.