ළදරුවන්ට ඇතිවන ආසාත්මිකතා ගැන මව්වරුන් දැනගත යුතුම දේවල්

අද වන විට නිතර නිතර ඇතිවන ආසාත්මිකතා තත්ත්වයන් ඉතා සාමාන්‍ය වී තිබෙනවා. වැඩිහිටියන්ට විතරක් නෙමෙයි ඉතා කුඩා දරුවන්ටත් නිතර ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. එය බොහෝ විට බියවිය යුතු තත්ත්වයක් නොවේ. විශේෂයෙන් කුඩා දරුවන් අතර දැකිය හැකි වන ආසාත්මික තත්ත්වයක් තමයි ආහාර ආශ්‍රිතව ඇතිවන ආසාත්මිකතා. Baby and Me අපි හිතුවා කුඩා දරුවන්ට ඇතිවන ආසාත්මිකතා සම්බන්ධයෙන් විශේෂයෙන් මවක් ලෙස ඔබ දැන සිටිය යුතු කාරණා ගැන ඔබව දැනුවත් කරන්න

 

ආසාත්මිකතාවයක් යනු?

ශරීරයේ මගින් යම් කිසි අසාමාන්‍ය දෙයක් සඳහා දක්වන ප්‍රතිචාරයක් අසාත්මිකතාවයක් ලෙස හඳුන්වන්න පුළුවන්. යම් යම් දේවල් සඳහා ශරීරය අධි සංවේදී වන්න පුළුවන්. එතකොට ආසාත්මිකතාවයක් කියන්නෙ ශරීරය යම් කිසි දෙයක් සඳහා දක්වන ප්‍රතික්රියාවයි. කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය වෙමින් පවතින නිසා ඔවුන් පහසුවෙන් ආසාත්මිකතා වලට ගොදුරු වන්නට පුළුවන්. සමහර අවස්ථාවලදී දරුවා අසාත්මිකතාවයකින් පෙළෙන බව හඳුනා ගැනීම අපහසු වන්න පුළුවන්. ජානමය බලපෑමකින් පවුලේ සියල්ලන්ටම යම් දෙයක් සඳහා ආසාදනය වනවා නම් බොහෝ විට දරුවාට එම තත්ත්වය බලපාන්න පුළුවන්. දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල නිසා ඔවුන් වෙත විශේෂ අවධානය යොමු කිරීම වැදගත් වෙනවා

 

ආසාත්මිකතා ඇති වෙන්නෙ ඇයි?

ආසාත්මිකතා ඇති වන්නේ ප්‍රතිශක්තීකරණ පද්ධතියෙහි ඇති අධි සංවේදීතාවය නිසයි. ශරීරයට ඇතුළුවන බාහිර සාධක සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දක්වන ප්‍රතිචාරය සහ එහි ප්‍රතිඵලයක් ලෙස අසාත්මිකතා ඇති වන්න පුළුවන්. කිඹුහුම්යෑම, සමෙහි කුෂ්ඨ වැනි තත්ත්වයක් ඇතිවීම අසාත්මිකතාවයක් ලෙස දකින්න පුළුවන්. බොහෝ විට සමහර පුද්ගලයන්ට කිරි, මාලු වර්ග, දූවිලි, යම් යම් ධාන්‍ය වර්ග ආසාත්මිකතා ඇති කරන්න පුළුවන්. මෙම තත්ත්ව ඉක්මණින් සුව නොවන අතර පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝවීමක් දකින්න ලැබෙන්නෙ නෑ

 

ආසාත්මිකතා සහ සෙම්ප්‍රතිශ්‍යාව

අපි බොහෝ දුරට මෙම සෙම්ප්‍රතිශ්‍යාව සහ ආසාත්මිකතා එකම දෙයක් ලෙස දැකීමට පෙළඹෙනවා සහ මෙම තත්ත්ව දෙකේදිම එක සමාන රෝග ලක්ෂණ දැකිය හැකි වෙනවා. සමහර අය මෙම රෝග දෙකෙහි වෙනස පවා හඳුනන්නේ නැහැ

ඇත්ත වශයෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව යනු වෛරසයක්. පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ වීමට හැකි තත්ත්වයක්. බොහෝවිට සෙම්ප්‍රතිශ්‍යාවෙහි ප්‍රතිඵලයක් විදියට උණ, කැස්ස, ඇඟපත වේදනාව ඇතිවිය හැකියි. සුව වීමට දින ගණනාවක් ගත වෙන්න පුළුවන් වගේම බොහෝ විට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙන්න පුළුවන්

 

ආසාත්මිකතා සහ සෙම්ප්‍රතිශ්‍යාව අතර වෙනස හඳුනාගන්නේ කොහොමද?

දරුවන් නොසන්සුන්ව සහ නාසයේ බර ගතියකින් යුක්තව සිටීමත් ශරීරයේ කුෂ්ඨ (rashes) වැනි තත්ත්වයක් දැකිය හැකි වීම ආසාත්මිකතාවයලක්ෂණයි

 

කුඩා දරුවන්ට ආසාත්මිකතා ඇතිවන ආකාරය  

සමහර ආහාර, සුරතල් සතුන්, මයිටාවන් මගින් සහ කාළගුණ තත්ත්වයන් කුඩා දරුවන්ට ආසාත්මිකතා ඇතිවෙන්න බලපාන්න පුළුවන්. දරුවන් ඉතා කුඩා කලදී පමණක් නෙමෙයි ආසාත්මික තත්ත්වයන් ඕනෑම වයස් කාණ්ඩයක දී ඇති වීමට පුළුවන්.

 

ළදරුවන් සහ කුඩා දරුවන්ආසාත්මිකතා වැඩි වන්නේ ඇයි?

ආසාත්මිකතා සඳහා නිශ්චිත හේතුවක් හඳුනාගෙන නැහැ. බොහෝවිට දරුවා ජීවත්වන නිවෙස තුළ පරිසරය පිරිසිදු නොවීම, ඉහළ යන වායු දූෂණය සහ සමහර අවස්ථා අවස්ථාවල දී ගනු ලබන ආහාර වල බලපෑම මත අසාත්මිකතා ඇති වන්න පුළුවන්. උදාහරණයක් විදියට ඉතා පිරිසිදු වටපිටාවක ජීවත් වන බාහිර පරිසරය සමඟ නොගැටෙන දරුවන් බාහිර පරිසරයට නිරාවරණය වූ ඉක්මණින් ආසාත්මිකතා ඇති වන්න පුළුවන්. එයට හේතුව වන්නේ දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට එවැනි සාධක සඳහා ඔරොත්තු දීමේ හැකියාවක් නොවීමයි

 

ආසාත්මිකතාවයක් කියන්නෙ මොකක්ද සහ දරුවන්ට ආසාත්මිකතා ඇති වෙන්නෙ ඇයි කියල අපි මේ ලිපියෙන් දැනගත්තනෙ. ආසාත්මිකතාවයකට ශරීරය ප්‍රතිචාර දක්වන හැටි සහ දරුවන්ට නිතරම ඇතිවෙන ආසාත්මිකතා වළක්වගන්න හැටි ගැන ඉදිරි ලිපියකින් දැනගමු.