මොනවද මේ Baby Acne කියන්නෙ? ඔබේ බබාටත් තියෙනවද?

අලුත උපන් බිළිඳුන් නව පරිසරයට හැඩගැසීමට කාලයක් ගත වෙනවා. ඒ අතරතුරදී සමහර වෙලාවට එයාලාගේ සමේ බිබිලි හෝ ළදරු කුරුලෑ (Baby Acne) ද ඇති වෙනවා. සමහර අලුත උපන් බිළිඳුන්ට යෝනි මාර්ගයෙන් ලේ ගැලීමක්ද ඇති වෙනවා දකින්න පුළුවන්. මේ සියල්ල සාමාන්‍ය තත්ත්වයන් වන අතර මේවා නිසා දෙමවුපියන් අනවශ්‍ය කලබලයක් ඇති කරගන්න ඕනේ නෑ. ළදරු සමේ ගැටළු සහ ඔවුන්ගේ රැකවරණය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා මේ ලිපිය කියවන්න.

 

හෝමෝන

ළදරුවන්ගෙන් සියයට 30 කට වඩා වැඩි ප්‍රමාණයක් උපතින්ම හෝ උපත ලැබීමෙන් පස්සේ ඔවුන්ගේ සමේ කුෂ්ඨ වර්ග නැත්නම් රෑශස් ඇති වෙනවා. ඒවායේ විවිධ වර්ග තිබෙනවා. මෙම කුරුලෑ වර්ග සාමාන්‍යයෙන් ආරම්භ වෙන්නේ ළදරුවෙක්ට සති 3 ක් පමණ වන විට වන අතර දරුවාට මාස 4 ක් හෝ 6 ක් වන තුරු ඒවා පවතින්න පුළුවන්. 

ළදරු කුරුලෑ සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයක් වන අතර උපත ලැබීමට පෙර වැදෑමහ හරහා දරුවාට ලැබෙන හෝමෝන නිසා ද ඒ වගේ තත්ත්ව ඇති වෙනවා. මෙම හෝමෝන ඔබේ දරුවාගේ සම මත ඇති තෙල් ග්‍රන්ථි උත්තේජනය කරන නිසා ඒ හරහා ළදරු කුරුලෑ ඇති කරනවා. කුරුලෑ වලට අමතරව, හෝමෝන මගින් ඔබේ අලුත උපන් පුතාට හෝ දියණියට කුඩා පියයුරු ඇති වෙන්න පුළුවන්. මෙම පියයුරු කිසිසේත්ම ස්ථීර නොවන අතර කාලයත් සමඟ සියල්ල ඉක්මණින් අතුරුදහන් වෙනව. සමහර අලුත උපන් ගැහැණු දරුවන්ට යෝනි මාර්ගයෙන් ලේ ගැලීමක් (vaginal bleeding) සිදු වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ගැහැණු දරුවන්ගේ හෝමෝන නිසා වන අතර ඒ නිසා බියක් ඇති කරගන්න ඕනේ නැ. ලේ ගැලීම ඉක්මණින් නතර වෙනව, ඔබේ දියණිය නව යොවුන් වියට පත් වෙනකල් ඒ තත්ත්වය නැවත ඇති වෙන්නේ නෑ.ළදරු, කුරුළෑ

 

සම මත ඇතිවන දැවිල්ල

බොහෝ විට, දරුවාගේ සම කුරුලෑ විදිහට කැඩී යන අතර කුරුලෑ බොහොමයක් රතු රෑශස් ස්වරූපයෙන් පවතිනවා. ඒ අතර වයිට් හෙඩ්ස් ද බහුලව දකින්නට ලැබෙනවා. මුහුණට අමතරව කුරුලෑ කිහිපයක් දරුවාගේ පපුවේ සහ අත් වලද පෙනෙන්න පුළුවන්. කිසියම් හේතුවක් නිසා ඔබේ දරුවා කලබලයට පත්වුණොත් හෝ ඇඟ උණුසුම් වීම් හෝ අසනීප වීම් ඇති උනොත් මේ රෑශස් වල කැසීම් වඩාත් උග්‍ර වෙන්න පුළුවන්. 

ඒ වගේම දරුවාගේ සමේ දැවිල්ලක් ඇති වුණොත්, කැසීම නරක අතට හැරෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබේ දරුවාගේ තුවා හා බිබ් සැර ඩිටර්ජන්ට් වලින් සෝදන්න එපා. ඒ ඩිටර්ජන්ට පරෙස්සමින් හා සම්පූර්ණයෙන්ම සෝදා නොගත්තොත් දරුවාගේ සමේ දැවිල්ල ඇති වෙන්න පුළුවන්. දරුවගේ මුහුණෙන් කෙළ හෝ කිරි මෘදු ලෙස පිරිසිදු කිරීම කරන්න. 

 

විවිධ තෙල් වර්ග ආලේප කිරීම

දරුවාගේ මුහුණ වතුරෙන් මෘදු ලෙස පිරිසිදු කරලා මෘදු ළදරු සබන් වර්ගයක් යොදා ගනිමින් හොඳින් මුහුණ සෝදන්න. ප්‍රතිකාරයක් සොයමින් ඉක්මන් වෙන්න අවශ්‍ය නෑ. ළදරුවන්ගේ මේ තත්ත්ව කාලයත් සමඟම අතුරුදහන් වෙනවා. ඒ නිසා තෙල් හා ඖෂධ යෙදීම ප්‍රයෝජනවත් වෙන එකක් නෑ. ඇත්ත වශයෙන්ම විවිධ තෙල් වර්ග ආලේප කිරීමෙන් නිසැකවම කුරුලෑ නරක අතට හැරෙන්නත් පුළුවන්.

 

අසාත්මිකතා

ඔබේ දරුවාට තිබෙන්නේ සැබවින්ම කුරුලෑ ද කියලා දැන ගන්න. දරුවාට යම් අසාත්මිකතාවයක් ඇති වීම නිසාත් රෑශස් ඇති වෙන්න පුළුවන්. ඔබේ දරුවාට ආසාත්මිකතාවයක් ඇති බව ඔබට හැඟෙනවා නම් වෛද්‍යවරයා හමු වෙලා උපදෙස් ලබා ගන්න. අසාත්මිකතාවන් ඇති වෙන්න පුළුවන් හේතු හා ආහාර පිළිබඳව ද සොයා බලන්න. ඒවා ඔබේ දරුවාගෙන් ඈත් කරලා තබන්න.

 

අවසාන වශයෙන්, ඔබේ දරුවාට කුරුලෑ ඇති වූ පමණින් දරුවගේ නව යොවුන් වියේදීත් එයාව කුරුලෑ වලට ගොදුරු වෙයි කියලා විශ්වාස කිරීමට හේතුවක් නැ. දරුණු කුරුලෑ ඇති ළදරුවන් වයසින් වැඩෙද්දී ඔවුන්ට නිරෝගී සමක් ලැබෙන්න ඉඩ තියෙනවා.