මොනවද මේ ෆෝලික් ඇසිඩ් කියන්නෙ?

ගර්භණීභාවය සඳහා ෆෝලේට් සහ ෆෝලික් අම්ලය වැදගත් වන්නේ Spina bifida වගේ ස්නායුක නාල දෝෂ ලෙස හැඳින්වෙන උපත් ආබාධ වළක්වා ගන්න පුළුවන් නිසයි. ෆෝලේට් හෙවත් ෆෝලික් කියන්නේ සෞඛ්‍ය සම්පන්න වර්ධනයට හා සංවර්ධනයට අවශ්‍ය බී කාණ්ඩයේ විටමින් වර්ගයක්. 

මෙම විටමින් හරිත කොළ එළවළු වැනි ආහාර වල ස්වාභාවිකව හමු වුණාම ඒක ‘ෆෝලේට්’ ලෙසත්, පාන් සහ උදෑසන ධාන්‍ය වගේ ආහාර වලට එකතු කලාම හෝ ආහාරමය අතිරේකවල භාවිතා කරනකොට ‘ෆෝලික් අම්ලය’ ලෙසත් හැඳින්වෙනවා.

ෆෝලේට් ස්නායු පද්ධතියේ වර්ධනයට සහ ළදරුවන් තුළ ස්නායුක නාල දෝෂ  (NTDs) වැළැක්වීමට විශේෂයෙන් වැදගත් බව ඔප්පු වෙලා තියනවා. Spina bifida කියන්නේ වඩාත් සුලභ උපත් ආබාධ වලින් එකක්. ගර්භණී සමයේ පළමු සතිවලදී මොළය හා කොඳු ඇට පෙළ සෑදෙනකොට එය හැදෙනවා.

ඔබේ මුල් ගර්භණී අවධියට පෙර සහ ගර්භණී මුල් කාලය තුළ ඔබට ප්‍රමාණවත් ෆෝලේට් තිබෙනවා නම් ස්නායුක නාල දෝෂය ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. ෆෝලේට් බහුල ආහාර ගැනීමෙන් සහ අතිරේකයක් ගැනීමෙන් ඔබට ප්‍රමාණවත් ෆෝලේට් ලබා ගන්න පුළුවන්.

 

ෆෝලික් අම්ල සහිත අතිරේක

මේවා ඔබේ වෛද්‍යවරයාගේ අනිවාර්‍ය උපදෙස් ඇතුව ෆාමසි වලින් විවිධ මාත්‍රාවලින් ලබා ගන්න පුළුවන්. සමහර කාන්තාවන්ට අනෙක් අයට වඩා ෆෝලේට් අවශ්‍යයි. ඔබට සුදුසු ෆෝලික් අම්ලයේ මාත්‍රාව ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න. සාමාන්‍යයෙන් ගැබ් ගැනීමට උත්සාහ කරනකොට හෝ ගර්භණී අවධියේ මුල් මාසවලදී ඔබට අවම වශයෙන් ෆෝලික් අම්ලය මයික්‍රො ග්‍රෑම් 400 ක් අඩංගු අතිරේකයක් ගැනීම ගැන සොයා බලන්න; මේවා සාමාන්‍යයෙන් ෆෝලික් අම්ලය හෝ විශේෂ ගර්භණී අතිරේක අඩංගු වන අතිරේක ලෙස හැඳින්වෙනවා. මල්ටි විටමින් අතිරේකවල සාමාන්‍යයෙන් ප්‍රමාණවත් තරම් ෆෝලික් අම්ලය අඩංගු වෙන්නේ නෑ. ඔබට ප්‍රමාණවත් තරම් ෆෝලික් අම්ල ලැබෙන බවට සහතික කරගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි අවම වශයෙන් මාසයකට පෙර සහ පිළිසිඳ ගැනීමෙන් මාස 3 කට පසුව දෛනික ෆෝලික් අම්ලය ලබා ගැනීමයි. ඊට පසුව ඔබට ෆෝලික් අම්ල අතිරේක ගැනීමට අවශ්‍ය වෙන්නේ නෑ.

 

ෆෝලේට් බහුල ආහාර

බොහෝ ආහාර ස්වාභාවිකවම ෆෝලේට් වලින් පොහොසත්. නමුත් ෆෝලේට් ජලයේ දිය වෙන අතර ඒවා අඩංගු ආහාර පිසීමේදී පහසුවෙන් විනාශ වෙනවා. ඒ නිසා එළවළු වඩාත් සැහැල්ලුවෙන් පිසින්න හෝ අමුවෙන් ආහාරයට ගන්න බලන්න. මයික්‍රෝවේව් හෝ ස්ටීම් කිරීම මගින් ඒවා පිසින්න පුළුවන් නම් වඩාත් හොඳයි. පහත දැක්වෙන්නේ ස්වාභාවික ෆෝලේට් වල හොඳ ප්‍රභවයන් කීපයක්:

 

  • එළවළු (බ්රොකොලි, ගෝවා, වට්ටක්කා, නිවිති, මුං ඇට, සලාද කොළ, හතු, පැණිරස ඉරිඟු, සුකිනි)
  • පළතුරු (අලිගැට පේර, මිදි, දොඩම්)
  • රනිල කුලයට අයත් කඩල, සෝයා බෝංචි, ලීමා බෝංචි, කිඩ්නි බීන්ස්, පරිප්පු
  • බිත්තර
  • ඇට වර්ග
  • ජූස් (බොහෝ විට ඇපල් යුෂ හා දොඩම්)

 

වැඩි මාත්‍රාවක් ෆෝලික් අම්ලය

ස්නායුක නාල දෝෂය සහිත සමහර කාන්තාවන්ට ගැබ් ගැනීමේදී වැඩි අවදානමක් ඇති වෙන්න පුළුවන් අතර ගැබට සති 12 ක් වෙනකල් සෑම දිනකම ෆෝලික් අම්ලය මිලිග්‍රෑම් 5ක් වගේ වැඩි මාත්‍රාවක් ගැනීමට උපදෙස් දෙනවා. වැඩි අවදානමක් තිබේ නම්:

 

  • ඔබට හෝ ඔබේ සහකරුට ස්නායුක නාල දෝෂයක් තිබෙනවා නම්
  • ඔබට හෝ ඔබේ සහකරුට ස්නායුක නාල දෝෂය පිළිබඳ පවුලෙන් එන රෝග ඉතිහාසයක් තියනවා නම්
  • ඔබ මීට පෙර ස්නායුක නාල දෝෂයක් හේතුවෙන් ගැබ්ගෙන තියෙනවා නම්
  • ඔබට දියවැඩියාව තියෙනවා නම්

 

ඊට අමතරව අපස්මාර නාශක ඖෂධ ගන්නා කාන්තාවන් තම වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගත යුත්තේ ඔවුන්ට ෆෝලික් අම්ලය වැඩි මාත්‍රාවක් ගැනීමට අවශ්‍ය වෙන්න පුළුවන් නිසායි.

 

ඉහත සඳහන් කළ හේතු ඔබට අදාළ නම් ෆෝලික් අම්ලයේ වැඩි මාත්‍රාවක් නියම කරන්න පුළුවන් නිසා ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න. ඒ වගේම ඔබේ වෛද්‍යවරයා හෝ මිඩ් වයිෆ් ඔබේ ගර්භණී සමයේදී අමතර පරීක්ෂණ ද නිර්දේශ කරන්න පුළුවන්.