දරුවෝ හදද්දී ඔබට ගැළපෙනම ශෛලිය ගැන ඉගෙන ගන්න

ඔබ ඔබේ දරුවන්ට දෙමව්පියන් විදිහට සළකන ආකාරය, අනාගතයේදී ඔවුන් වැඩිහිටියන් බවට පත්වන ආකාරය කෙරෙහි විශාල හා දීර්ඝ කාලීන බලපෑමක් ඇති කරනවා. ඇත්තටම දෙමාපියන් දරුවන් එක්ක ජීවත් වෙද්දී කටයුතු කරන ආකාරයන් විවිධයි කියලා හොඳින් බැලුවොත් දැක ගන්න පුළුවන්. බොහෝ දෙමව්පියන් විවිධ දෙමාපිය ශෛලීන් වල මිශ්‍රණයක්. නමුත් බොහෝ විට එක් ශෛලියකට නැඹුරු වෙලා ඉන්න කොටසකුත් ඉන්නවා. නමුත් දෙමව්පියන්ගේ මෙම සෑම ශෛලියක්ම දරුවන්ගේ පෞරුෂයට ඍජුවම බලපානවා. ඒ ගැන අපි ඔබට කියන්නම්….

 

දෙමාපිය ශෛලියට බලපෑම් කරන සාධක

ඔබේ දරුවා සමඟ කටයුතු කරන ආකාරය තීරණය වෙන්නේ ඒ සඳහා එල්ල වෙන බොහෝ බලපෑම් මතයි. ඒවා අතර ඔබ හැදී වැඩුණු ආකාරය, අනෙක් දෙමව්පියන් ක්‍රියා කරන ආකාරය ඔබ දකින විදිහ, ඔබේ තත්ත්වය, ඔබට කොපමණ සහයෝගයක් තිබෙනවාද, ඔබ ඔබේ දරුවාගේ කටයුතු සඳහා මැදිහත් වන ආකාරය සහ ඔබේ සංස්කෘතිය සහ සාරධර්ම පද්ධති ඒ සඳහා බලපානවා.

 

දෙමාපිය ශෛලීන් වර්ග

ළමා සංවර්ධන විශේෂඥයින් දෙමව්පියන්ගේ ප්‍රධාන ශෛලීන් හතරක් හඳුනාගෙන තිබෙනවා:

 

  1. අධිකාරීවාදී දෙමව්පියන්
  2. බලයලත් (හෝ සහායක) දෙමාපියන්
  3. අවසර දෙන දෙමාපියන්
  4. මැදිහත් නොවන දෙමවුපියන්

 

දෙමාපිය ශෛලීන් වල සීමාවන් සහ ප්‍රතිලාභ

 

අධිකාරීවාදී ශෛලියේ දෙමව්පියන් දරුවන්ට දැඩි නීති රීති පනවන්නයි නැඹුරු වෙලා ඉන්නේ. ඔවුන්ගේ දරුවන් පාසැලේදී කීකරු හා සාර්ථක වෙන්න පුළුවන්. නමුත් ඔවුන් අඩු ආත්ම අභිමාන‍යකින් හා දුර්වල සමාජ කුසලතා වලින් හෙබි වෙන්න පුළුවන්.

 

බලයලත් (හෝ සහායක) ශෛලියේ දෙමාපියන්ට ස්ථිර අපේක්ෂාවන් තියනවා. නමුත් ඔවුන් තමන්ගේ දරුවාට ඇහුම්කන් දෙන අතර හොඳ පෝෂණයක් හා සමාව ද ලබා දෙනවා. ඔවුන්ට සාමාන්‍යයෙන් අවශ්‍ය වන්නේ තමන්ගේ දරුවන් සතුටින් හා සමාජීය වශයෙන් වගකිව යුතු දරුවන් වෙනවා දකින්නයි. 

 

අවසරදෙන දෙමාපියන් ඕනේ දේකදී දරුවන්ට ‘එපා’ කියන්න මැලි වෙනවා සහ දරුවන්ගේ සීමා නියම කිරීමට වෙහෙසෙනවා. ඔවුන් බොහෝ විට දරුවන්ට සළකන්නේ සමාන කෙනෙක් විදිහටයි. ඔවුන්ගේ දරුවන්ට බොහෝ විට හොඳ ආත්ම අභිමානයක් හා සමාජ කුසලතා තියනවා. නමුත් දුර්වල ස්වයං-පාලනයක් ඔවුන්ගේ චරිත තුල ඇති වීමට වැඩි ඉඩක් තියනවා. මොකද ඒ වගේ නව යොවුන් වියේ දරුවන්ව වැඩිහිටියන් විසින් පාලනය කරන්න හදද්දී ඉවසීම අඩු නිසා ගැටළු ඇති වෙන්න පුළුවන්.

 

මැදිහත් නොවන දෙමවුපියන්

මැදිහත් නොවන දෙමවුපියන් තම දරුවාගේ ජීවිතයට බැඳිලා නෑ වගේම ඔවුන්ගෙන් මානසිකව පවා වෙන් වෙලායි ඉන්නේ. මේ නිසාම ඒ වගේ දෙමවුපියන්ගේ දරුවන්ගේ මානසික යහපැවැත්ම, සමාජ කුසලතා සහ අධ්‍යාපන ජයග්‍රහණ යන කොටස් වලින් එළියට එන්නේ දුර්වල ප්‍රතිඵලයි. මෙම මාපිය ශෛලිය සම්පූර්ණයෙන්ම දරුවෙකුගේ ජීවිතයට ඍණාත්මක බලපෑමක් ඇති කරනවා.

 

ඔබට සහ ඔබේ දරුවාට ගැලපෙන දෙමාපිය ශෛලිය කුමක්ද?

 

ඔබේ දෙමාපිය ශෛලිය ඔබේ දරුවාගේ ආත්ම අභිමානයට සහ විශ්වාසයට බලපාන ආකාරය දැන් ඔබ දන්නවා. ඵලදායී දෙමාපිය රැකවරණයක් ඔබේ දරුවාට ලබා දෙන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි ඔබේ දරුවන් සමඟ ගෞරවනීය සම්බන්ධතාවයක් වර්ධනය කර ගන්න එක. එතකොට ඕනෙම ගැටළුවක් සන්සුන්ව, සාධාරණව හා කාරුණිකව විසඳා ගන්න දෙපාර්ශවයට ම පුළුවන්. අවසානයේදී දෙමව්පියන් විදිහට ඔබ දරුවන්ට දෙයක් පැහැදිලි කරද්දී ආදරණීයව වගකීමෙන් යුතුව ක්‍රියා කරන්න ඕනේ. “ඔයාට ඕනේ දෙයක් කියන්න… මම අහන් ඉන්නම්…” වගේ දෙබසකින් දරුවන් එක්ක කතා කරන්න පටන් ගන්න.

 

බලයලත් දෙමාපිය (හෝ සහායක) ශෛලිය අනුගමනය කිරීමෙන් ඔබට මේ ආකාරයෙන් ක්‍රියා කිරීමට ඉඩ සලසා දෙනවා. ඊටත් වඩා සහායක මාපිය ශෛලිය දරුවන්ට වඩාත් සුදුසුයි. ඒ ක්‍රමයෙන් දෙමව්පියන්ට උණුසුම් හා ආදරණීය වෙන්න පුළුවන් අතර දරුවන්ට පැහැදිලි මග පෙන්වීමක් සහ සහායක් ද ලබා දෙන්න පුළුවන් වෙනවා.

 

ආරක්ෂිත සබඳතා

 

බලයලත් දෙමාපිය (හෝ සහායක) ශෛලිය හරහා දරුවන්ට ඔවුන්ගේ ජීවිතයට වැදගත් වෙන පුද්ගලයන් කවුද කියලා තෝරා දෙන්න මවුපියන්ට පුළුවන්. ඒ හරහා සුරක්ෂිත සබඳතාවක් වර්ධනය කර ගැනීමට ද උපකාරී වෙනවා. දරුවන්ගේ ලෝකය ගවේෂණය කිරීමට සහ කළමනාකරණය කරගන්න පුළුවන් අවදානම් අරගන්නට ඔවුන්ට ඉඩ දෙන්න. ඒ වගේම ඔබේ දරුවන්ට අවශ්‍යතාවයක් පැන නඟිද්දී සීමාවන් පැනවීමට සහ වගකීම භාර ගන්නට සමබරතාවයක් සහිත ආකෘතියක් සකසා දෙන්න.

 

ඒ අතරතුරදී දරුවන්ට සීමාවන් නියම කිරීම ද දෙමව්පියන් වශයෙන් ඔබේ කාර්යභාරයයි. උදාහරණ විදිහට “නාද්දී වතුර එක්ක සෙල්ලම් කළාට කමක් නෑ, ඒත් බිම පුරා වතුර විසුරුවන්න එපා” කියන්න. සහ ආරක්ෂාව සඳහා නීති රීති සැකසීමේදී “ඔයාට මගේ අත අල්ලාගෙන ඇවිදින්න බැරි නම්, මාත් එක්ක කඩයට යන්න බැහැ” කියන්න.

 

දරුවෙකුට සුරක්ෂිත බවක් දැනෙනකොට ඔවුන්ගේ ආත්ම විශ්වාසය හා ස්වයං-පාලනය වර්ධනය වෙනවා. ඒ හරහා විශ්වසනීය වැඩිහිටියෙක් තමන්ගේ ජීවිතයට මඟ පෙන්වීම් ලබා දෙනවා කියන හැඟීම ඔවුන් තුල ඇති වෙන නිසා විශාල හැඟීම් සහ සිදුවීම් කළමනාකරණය කර ගැනීමට ඔවුන්ට හැකි වෙනවා. දෙමවුපියන්ගෙන් උපකාර ලැබෙන බව දන්න ඕනෙම දරුවෙකුට ජීවිතයේ ඕනේම ගැටලුවකදී ධනාත්මකව හැසිරෙන්න පුළුවන්.

 

සහායක දෙමාපියන් වන්නේ කෙසේද?

 

දෙමව්පියන් විදිහට ඔබේ බලය හා සහායක ශෛලිය භාවිතා කිරීම සඳහා ප්‍රායෝගික උපදෙස් කිහිපයක් මෙන්න:

 

ඔබේ දරුවන් සමඟ ඔබේ සම්බන්ධතාවය ගොඩනඟා ගන්න:

ඔවුන් සමඟ තනි තනිව කාලය ගත කරන්න. ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන් දේවල් බැලීමට උත්සාහ කරන්න. ඔවුන් උනන්දුවක් දක්වන දේවල් ගැන ඔබත් උනන්දු වන්න. දරුවන්ට වෙන්න යන්න මොකක්ද කියලා දැනගන්න, ඔවුන් ක්‍රියාකාරකම් කරන හෝ ක්‍රීඩා කරන ස්ථාන වලට ගිහිල්ලා ඔවුන්ගේ මිතුරන් දැන හඳුනා ගන්න.

 

ඔබේ ආදරය පෙන්වන්න: 

ඔබ දරුවන්ට ආදරය කරන බව ඔවුන්ට පවසන්න, වැළඳගැනීම් හා හුරතල් කිරීම් කරන්න.

 

කතා කරන්න සහ සවන් දෙන්න: 

ඔබේ පූර්ණ අවධානයෙන් දරුවන්ට ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා.

 

ජයග්‍රහණයට අනුබල දෙන්න: 

දරුවන් උනන්දුවක් දක්වන විවිධ දේ සොයා බලලා ඔවුන්ගේ කුසලතා ප්‍රගුණ කරන්න.

 

මඟ පෙන්වීම සහ සහාය: 

වැරදි දේවල් සහ නිවැරදි දේවල් ගැන දරුවන්ට දන්වන්න.

 

ධනාත්මක ආදර්ශයක් වන්න: 

ඔබේ දරුවන් අනිත් අයට සලකනවාට ඔබ කැමති ආකාරයට සහ ඔබ අපේක්ෂා කරන යහපත් ආකාරයට ඔබත් දරුවන්ට සලකන්න සහ ඔවුන් ඉදිරියේ හැසිරෙන්න. ඔබ ඔවුන් තුළින් දකින්න කැමති වටිනාකම් ඔබ තුළින්ද ජීවත් කරවන්න.