කේට් මිඩ්ල්ටන්ගේ අලංකාර අලුත් මාලය කවුරු වෙනුවෙන්ද කියල දන්නවද?

කේට් මිඩ්ල්ටන් තමන්ගේ අලුත්ම කර මාල විලාසිතාවට හැඟීම්බර අර්ථයක් එකතු කරලා තිබීම පසුගිය දවස් වල ගොඩක් රසිකයන්ගේ කතා බහට ලක් වුණා. මේ විස්තර ඒ ගැනයි…

 

ඇය ආදරණීය මවක්

රාජකීය මව ඇගේ 7 හැවිරිදි ජෝර්ජ් කුමරු, 5 හැවිරිදි චාලට් කුමරිය සහ 2 හැවිරිදි ලුවිස් කුමරු සමඟ පසුගිය දවස් වල ලන්ඩන් උද්‍යානයකට පිටත්ව යනකොට අමතර ආභරණයක් ද පැළඳගෙන ගිහින් තියනවා. එහිදී වෛරස් වසංගතය මධ්‍යයේ මුහුණ දෙන අභියෝග ගැන දැන ගැනීමට ඇය උද්‍යානයේ හිටපු දෙමාපියන් ද හමු වුණා. එදා ඇගේ රන් මාලයේ එල්ලෙන පෙන්ඩන්ට් තුන සමීපව පරීක්ෂා කර බැලීමේදී ඒකෙ තිබිලා තියෙන්නේ ඇගේ දරුවන්ගේ මුලකුරු බව මාධ්‍යයට පෙනිලා තියනවා. ඒකේ සඳහන් වෙලා තියෙන්නේ  “G” “C” සහ “L” අකුරුයි.

 

දරුවන් තිදෙනාගේ නම්

38 හැවිරිදි කේට්ට එම ආභරණය නිර්මාණය කරලා දීලා තියෙන්නේ වේල්ස් නිර්මාණකරුවෙකු වන හේලී ජෝන්ස් විසින්. 

කේට් ඇගේ දරුවන් තිදෙනාට ඇගේ ආභරණ සමඟ ආදරය පෙන්වූ පළමු අවස්ථාව මේක නෙමෙයි. මෙම වසර මුලදී ද කේම්බ්‍රිජ් ආදිපාදවරිය රන් පෙන්ඩනයක් සහිත රන් මාලයක් පැළඳ සිටි අතර ඒකෙත් දියමන්ති තාරකා තුනක් සමඟ ඇගේ දරුවන් තිදෙනාගේ මුලකුරු ඇතුළත් කරලා තිබ්බා. මෙම විශේෂ ආභරණය ඩැනියෙලා ඩ්‍රැපර් නිර්මාණ ශිල්පිණිය වෙතින් ඇයට සකසා දුන්න Gold Midnight Moon මාලයක්. එය අන්තර්ජාලය හරහා ඩොලර් 1,400 කට ලබා ගන්නත් දැන් පහසුකම් තිබෙනවා.

 

ආදර්ශමත් කාන්තාවක්

 

“කේම්බ්‍රිජ් ආදිපාදවරිය කියන්නේ ඇදහිය නොහැකි තරම් ආදර්ශමත් කාන්තාවක් – මම ඇයව යහපත් තරුණියක් හා මවක් ලෙස සලකනවා” යනුවෙන් ඩ්‍රැපර් මහජනතාවට පවසලා තියනවා. 

“ඇය මගේ මෝස්තරයක් පළඳගෙන ඉන්නවා දැකීම මට ඉතා ආඩම්බර අවස්ථාවක්. සියල්ලන්ම සිතන්නේ ඒක පුදුම සහගත අවස්ථාවක් කියලායි. ඒ වගේම ඒක මට හොඳ චිත්ත ධෛර්යයක්! ”

කේට් සහ විලියම් කුමරු සිය පවුල සම්පූර්ණ කරගෙන ඇති බවට තවත් ඉඟියක් තමන්ගේ පුද්ගලික ආභරණ වලින් කේට් ලබා දීලා තියනවා. ඒ අනුව ඇගේ සෑම ආභරණයකම “G,” “C” සහ “L”  පරිපූර්ණ ලෙස කේන්ද්‍රගත වී ඇති නිසා ඊට වඩා වැඩි අක්ෂර සඳහා ඉඩක් නොලැබෙන බව එයින් පෙන්නුම් කරන බව එංගලන්ත මාධ්‍ය හරහා කියවෙනවා.

 

තවත් දරුවන් ගැන ඉඟියක්

ඒ වගේම කේට් පසුගිය කාලයේ බ්‍රැඩ්ෆර්ඩ් නගරයට ගිහින් එම නගරයේ පිරිසක් සමඟ කතාබස් කරමින් සිටියදී තමන්ට මීට වඩා දරුවන් ලැබීමට සැලසුමක් නැති බව කේට් ඉඟි කරලා තියනවා. එහිදී තමන්ගේ රසික රසිකාවියන් සමඟ අදහස් හුවමාරු කර ගනිද්දී ඇය අනාගතයේදී තමන් දරුවන් සිව්දෙනෙකුගේ මවක් වෙයි කියලා සිතන්න බෑ කියලා ඔවුන්ට පවසලා තියනවා. ඒ වගේම ඇය කියලා තියනවා,

“මම හිතන්නේ නැහැ විලියම්ටත් තවත් දරුවන් අවශ්‍යයි කියලා”.

 

තමන්ගෙ දරුවන්ට ඇති ආදරය ලෝකයට කියාපාන්න පුළුවන් විදි ගැන හිතන අම්මලාට ඔන්න කේට්ගෙන් ලැබිල තියෙන්නෙ ලස්සන නිදසුනක්.