දරුවන් දෙමවුපියන්ට අගෞරව කරන්නට පෙළඹෙන හේතු මේවායි

ඔබේ දරුවන් ඔබට අගෞරව කරන්​න පටන් අරන් ද? දරුවන් ඔබට අගෞරව කරමින් හැසිරීම පිටුපස බොහෝ සාධක සැඟවිලා තිබෙන්න පුළුවන්. දරුවන් දෙමාපියන්ට අගෞරව කිරීමට හේතුවන කරුණු ගැන දැන ගැනීමට ඔබටත් අවශ්‍ය නම් මෙය කියවන්න…

ඔබේ දරුවා ඔබට අගෞරව කරනවා නම් ඒ ගැන ඉතා වේදනාත්මක සහ කෝපය මුසු වුණු හැඟීම් ඔබට ඇති වනවා ඇති. ඒවා නිසා අනිවාර්යයෙන්ම ඕනෙම මවකගේ පියෙකුගේ හිත රිදෙනවා තමයි. සමහර දෙමවුපියන් අධික කම්පනයට හා ලැජ්ජාවට පත් වෙන අවස්ථාද උදා වෙනවා. මේ වගේ වෙලාවකදී බොහෝ විට එම දෙමව්පියන් තමන් දරුවා හදා වඩා ගනිද්දී තමන්ගේ අතින් යම්කිසි වැරැද්දක් සිද්ධ වෙලා තියනවාද කියලා සිතීමට පටන් ගන්නවා. ඔවුන් තමන්ගේ දෙමාපිය හැකියාවන් ගැන සැක කිරීමට පටන් ගන්නවා. ඔබටත් දරුවන් නිසා ඒ වගේ හැඟීමක් දැනිලා තියනවා නම් ඒක ස්වාභාවිකයි.

දරුවන් දෙමාපියන්ට අගෞරව කිරීමට පටන් ගන්න ප්‍රධාන​ම හේතු මේවායි

 

ව්‍යාජ පොරොන්දු

අද කාලේ දෙමවුපියෝ ළමයින්ගෙ ඉල්ලීම් සහ කරදරවලින් ගැලවෙන්න බොරු පොරොන්දු දෙන අවස්ථා ඕන තරම් තියනවා. නමුත් දරුවන්ට ඔබ පොරොන්දු වුණු ​ඒ දේවල් අමතක වෙන්නේ නෑ. දෙමව්පියන් විදිහට ඔබ ඒ පොරොන්දු අමතක කළොත් හෝ නොසලකා හැරියොත් දරුවන් තමන්ගේ දෙමාපියන් ගැන අවිශ්වාසයක් හා අගෞරව​යක් දක්වන්න පටන් ගන්නවා.

 

නුසුදුසු වටපිටාව

ඒක ඔබගේ දරුවා වැඩි කාලයක් ගත කරන ගෙදර පරිසරය හෝ වෙනත් පරිසරයක් වෙන්න පුළුවන්. ඔබේ දරුවාගේ හැසිරීම තුළ කිසියම් ආකාරයක වෙනසක් ඔබ දැක්කොත් එයාගේ වටපිටාව සහ එයා වටේ ඉන්න පුද්ගලයන් ගැනත් අවධානය දක්වන්න ඕනේ. දරුවාව බලා ගන්නා අ​ය, ඔබේ නිවසට එන අමුත්තන් ගැන වගේ​ම පාසලේ, පන්ති​යේ පරිසරය ආදී දරුවා වැඩියෙන්ම කාලය ගත කරන තැන් වල තිබෙන තත්ත්වය ගැනත් විශ්ලේෂණය කරන්න වෙනවා.

 

විනයක් නොමැති බව

දෙමව්පියන් සාමාන්‍යයෙන් විනය යන වචනය දඬුවම් කිරීම විදිහට වරදවා වටහාගෙනයි ඉන්නේ. ඒ වගේම දරුවා වයසින් පරිණත වුණු වහාම හැමදේම ස්වයංක්‍රීයව නිවැරදි වෙයි කියලා උපකල්පනය කරන්න පුරුදු වෙන්නත් එපා. නිවසේදී, පාසැලේදී, අමුත්තන් සහ මිතුරන් අතර ඉද්දී ඔබ ඔහුගෙන් හෝ ඇයගෙන් අපේක්ෂා කරන දේවල් ගැන දරුවාට දැන් ඉඳන්ම උගන්වන්න. ආදරණීයව සරල ආචාර ධර්ම ඉගැන්වීම මගින් දරුවන්ගේ සමස්ත පෞරුෂයම සැකසෙනවා වගේම ඔවුන්ගේ ජීවිතයේ හා හැසිරීම් වල වැඩි දියුණුවක් ඇති කරවන්න පුළුවන්.

 

දරුවන් සමඟ ඕනෑවට වඩා මිත්‍ර වීම

වර්තමානයේ බොහෝ දෙමව්පියන් තමන්ගේ දරුවාගේ හොඳම මිතුරන් දෙපළ තමන්මයි කියමින් ආඩම්බර වෙන්න උත්සහ කරනවා. ඒ හරහා ඔබේ දරුවන්ට ඔවුන්ගේ ජීවිතයේ සහ ඔවුන්ගේ මනසේ තියන සෑම දෙයක්ම විවෘතව ඔබත් සමඟ බෙදා ගන්න පුළුවන් වෙන නිසා ඒක හොඳයි. නමුත් ඒ හරහා වරදවා වටහා ගැනීම් වලට තුඩු දෙන අවස්ථා ද උදා වෙනවා. ඒ කියන්නේ දරුවන් සමඟ සීමාව ඉක්මවා මිත්‍ර වීම නිසා ඔවුන් තමන්ගේ දෙමව්පියන්ව සුළු කොට සලකන්න පෙළඹෙන්න පුළුවන්. අවසානයේදී එමගින් දරුවන් අගෞරවයක් පෙන්වන්න පුළුවන්. දරුවන් සමඟ මිතුරු වීම හොඳ‍යි තමයි. නමුත් එහි සීමා රේඛාව අඳින්නේ කොතැනද කියලා දෙමාපියන් දැන ගෙන ඉන්න ඕනේ.

 

අසාධාරණ ඉල්ලීම් ඉටු කිරීම

වර්තමාන ලෝකයේ දෙමව්පියන්ට තමන්ගේ දරුවන් එක්ක ගත කරන්න තියෙන්නේ අඩු කාලයක්. සමහර මුදල් හදල් යහමින් ති​බෙන දෙමවුපියන් තමන්ගේ දරුවන්ට අවශ්‍ය දේ මොනාද, අනවශ්‍ය දේ මොනාද කියලා හිතන්නේ නැතුව දරුවන් ඉල්ලන හැමදේම ලබා දීමට උත්සාහ කරනවා. දරුවන් ද දෙමවුපියන් හරහා තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ලබා ගැනීමට පුරුදු වුණාම, ඔවුන් බොහෝ දෙනෙක්ට ඒ ලැබෙන දේවල අගයක් නැති වෙනවා. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය දේවල් නොලැබෙනකොට දෙමවුපියන් සමඟ එකට එක කියන්න හෝ වැරදි ලෙස හැසිරෙන්න ඔවුන් පෙළඹෙනවා. තමන්ට ලැබෙන දේවල් ගැන ස්තූතිවන්ත නොවෙනවා වගේම ඒ අය අසාධාරණ ඉල්ලීම් කරමින් දෙමවුපියන්ට අගෞරව සහගත විදිහට හැසිරෙන්නත් පටන් ගන්නවා.

 

අවධානය සොයන දරුවන්

සමහර දරුවන් දෙමාපියන්ට අගෞරව කරන්නේ හෝ අගෞරව වෙන විදිහට හැසිරෙන්නේ ඔවුන්ට ඔබෙන් විශේෂ අවධානයක් අවශ්‍ය නිසායි. සමහර විට ඒ වගේ දරුවන් සිතන්නේ දෙමවුපියන් තමන්ට නිසි ලෙස ඇහුම්කන් නොදෙන බවයි. ඒකත් ඔවුන්ගේ අගෞරවනීය හැසිරීමට හේතු වෙනවා.

 

දෙමාපියන්ගේ අගෞරවනීය ආකල්ප

සමහර වෙලාවට දෙමාපියන් විසින් තමන්ගේ දරුවන් නිතරම තමන් දිහා හොඳින් බලා ඉන්න බව අමතක කරනවා. දරුවන් සාමාන්‍යයෙන් හැසිරෙන්නේ දෙමව්පියන් කරන දේවල් වල ආකාරයටමයි. ඒ නිසා ඔබේ දරුවා අනිත් අයට සහ ඔබට ගරු කරනවා දකින්න අවශ්‍ය නම් ඔබ දෙපළ මුලින්ම දරුවන් ඉදිරියේ ආදර්ශවත් විදිහට හැසිරෙන්න.

 

වඩා ස්වාධීන වීමට ඇති ආශාව

දරුවන් නව යොවුන් වියට හෝ වයස දහ අට ආසන්න සීමාවට පා තබනකොට ඔවුන්ට අවශ්‍ය වෙන්නේ දෙමවුපියන්ගෙන් මිදිලා ක්‍රියා කිරීමට හා ස්වාධීනව ජීවත් වීමටයි. දෙමව්පියන් යම් ඉඩක් හා නිදහසක් ලබා දුන්නත් ඔවුන් එම නීති වලට හා සීමාවන්ට කැමති නැහැ. මේ හේතුව නිසාත් ඒ වගේ දරුවන් දෙමාපියන්ට අගෞරව කිරීමට පටන් ගන්නවා.

 

ගුණාත්මක කාලයක් නොමැතිකම

දෙමව්පියන්ගේ වෘත්තීය වැඩකටයුතු සහ වර්තමාන ලෝකයේ ගෙවන කාර්යබහුල ජීවන රටාව නිසා දරුවන්ට තමන්ගේ දෙමව්පියන් සමඟ ගුණාත්මක කාලයක් ගත කිරීම මග හැරිලා තියනවා. අවසානයේදී දරුවන්ට තමන්ගේ දෙමාපියන් ගැන තියන ගෞරවය නැති වෙලා යන අතර ඒක ඔබේ සහ දරුවන්ගේ බැඳීමට ද බලපාන්න පුළුවන්.

 

මනෝභාවයන් වෙනස් වීම

ළමයින් වැඩෙනකොට ඔවුන්ගේ මනස තුළ වගේම ඉන් පිටතත් බොහෝ වෙනස්කම් සිදුවෙමින් පවතිනවා. ඔවුන් තුළින් ඔබට විටින් විට රළු බවක් පෙනෙන්නට තිබුණත් සමහර විට ඔවුන් එය ඔබට අගෞරව කරන්න සිතාගෙන පෙන්වන හැසිරීමක් නොවෙන්න පුළුවන්..

මේ වගේ අවස්ථාවලදී ඔබේ වැරැද්දක් දරුවාගේ ගෞරවය නැති වීමට හේතු වෙලා තියනවානම් එය නිවැරදි කරගැනීමටත්, දරුවාගේ වැරදි හැසිරීමකදී සන්සුන්ව කාලයත් එක්ක ඒ ප්‍රශ්නය විසඳාගැනීමටත් කටයුතු කරන්න මතක තියාගන්න.