සෙල්ලම් කිරීම දරුවන්ට වැදගත් ඇයි කියන එක දෙමව්පියො දැනගන්නම ඕන

ළදරුවන්ගේ හා දරුවන්ගේ නිරෝගී වර්ධනය හා සංවර්ධනය සඳහා ශාරීරික ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය වෙනවා. එය ඔවුන්ගේ ශරීරයට සහ මනසට හිතකරයි.

ළදරුවන්ට සහ දරුවන්ට දිනපතා ශාරීරික ක්‍රියාකාරකම් කිරීම :

  • මොළයේ වර්ධනයට උපකාරී වෙයි 
  • ශක්තිමත් මාංශ පේශි, සන්ධි සහ අස්ථි වර්ධනය ​වෙයි
  • සම්බන්ධීකරණය, සමබරතාවය සහ නම්‍යතාවය වැඩි දියුණු වෙයි
  • නිරෝගී බරක් කරා ළඟා වීමට උදව් කරයි
  • විවේකය වැඩි කරන අතර නින්ද වැඩි දියුණු කරයි
  • විශ්වාසය, සතුට සහ සමාජ කුසලතා වැඩි කරයි
  • පාසැලේදී වඩා හොඳින් ඉගෙන ගැනීමට දරුවන්ට උදව් කරයි

එකතැන බොහෝ වේලා හිඳගෙන ඉඳීමෙන් වැළකී ඇවිදීම, දිවීම, බයිසිකල් පැදීම ආදී ක්‍රියාකාරකම්වල නිරත වෙමින් විනෝදය වගේම ව්‍යායාමත් ලබන්නට දරුවන්ව උනන්දු කරවන එක දෙමවුපියන්ගේත් වගකීමක්.

 

ක්‍රීඩා සහ ව්‍යායාම

දරුවා පාසල් ය​න වයසට එළඹෙන විට, ඔවුන්​​ව නැටුම් හෝ යෝග වැනි ක්‍රියාකාරකම් සඳහා යොමුකළ හැක. නැතහොත් වෙනත් ක්‍රීඩාවන් සඳහා දරුවාව යොමු කරවන්න පුළුවන්.

බොහෝ දරුවන් ක්‍රීඩාවෙන් විනෝදයක් ලබනව. ඒ වගේම දරුවන් ක්‍රීඩාව තුලින් නව ශාරීරික කුසලතා ඉගෙන ගන්නවා, කණ්ඩායමක් විදිහට වැඩ කිරීමට, සහ ජයග්‍රහණයේ සතුට සහ පරාජයෙන් පසුබසින ආකාරය ඉගෙන ගන්නවා.

කොහොම වුණත් සෑම දරුවෙකුම ක්‍රීඩාවන් මගින් සතුටක් අත්විඳින්නේ නැහැ. පුහුණුවීමට හා දුෂ්කරතා මඟහරවා ගැනීමට ඔයාගේ දරුවන් දිරිමත් කිරීමෙන් ඔවුන්ට සහාය වන්න. දරුවන් ක්‍රීඩාවට අකමැති නම් කමක් නැහැ. ඔවුන් ප්‍රිය කරන වෙනත් ශාරීරික ක්‍රියාකාරකමක් සොයා ගැනීමට ඔවුන්ට උදව් කරන්න.

 

ළමයින්ට කොපමණ ක්‍රියාකාරකම් අවශ්‍යද?

උපතේ සිට වසරක් දක්වා ළදරුවන්ට යම් ශාරීරික ක්‍රියාකාරකම් තිබිය යුතුයි, විශේෂයෙන් ආරක්ෂිත පරිසරයක, බිම සි​ට සෙල්ලම් කිරීමට ඉඩ දිය යුතුයි. 

වයස අවුරුදු 1 සිට 5 දක්වා ළදරුවන් සහ ළමුන් දිනකට අවම වශයෙන් පැය තුනක්වත් ශාරීරිකව ක්‍රියාශීලී විය යුතුයි.

වයස අවුරුදු 5 ත් 17 ත් අතර ළමුන් සෑම දිනකම අවම වශයෙන් පැයක්වත් මධ්‍යස්ථ හා දැඩි ශාරීරික ක්‍රියාකාරකම් කළ යුතු අතර සතියකට අවම වශයෙන් දින තුනක්වත් ඔවුන්ගේ මාංශ පේශි හා අස්ථි ශක්තිමත් කරන ක්‍රියාකාරකම් වල නිර​ත විය යුතුයි.

 

රූපවාහිනිය සීමා කරන්න

වයස අවුරුදු දෙකකට අඩු දරුවන් රූපවාහිනිය නැරඹීම හෝ විද්‍යුත් මාධ්‍ය භාවිතා කිරීම එතරම් සුදුසු නැහැ. රූපවාහිනිය නැරඹීම හෝ වෙනත් ඩිජිටල් උපාංග සමඟ සෙල්ලම් කිරීම සඳහා ගත කරන කාලය සීමා කරන්න:

වයස අවුරුදු 2 සිට 5 දක්වා ළමුන් සඳහා දිනකට පැයකට අඩු කාලයක් සහ වයස අවුරුදු 5 සිට 17 දක්වා ළමුන් සඳහා දිනකට පැය දෙකකට වඩා අඩු කාලයක් මේ සඳහා ලබා දෙන්න.

 

ළමයින්​ව වඩාත් ක්‍රියාශීලී කරන්න​ට දෙමාපියන්ට කළ හැකි දේ

  • ඔබත් ශාරීරිකව ක්‍රියාශීලී වී දරුවාට වැදගත් ආදර්ශයක් වෙන්න.
  • එළිමහනේ ගවේෂණය කිරීමට සහ සෙල්ලම් කිරීමට දරුවන් දිරිමත් කරන්න. ඔබ​ට නිවසේ ඉඩකඩ ඇති මිදුලක් නොමැති නම්, ඔවුන්​ව උද්‍යානයක් හෝ වෙරළක් වැනි සුදුසු ස්ථානයකට ගෙන යන්න. 
  • ගෙවත්තේ පැ​ළ වලට වතුර දැමීම සහ වල් ගස් ඉවත් කිරීම වැනි සරල කාර්යයන් කිරීම සඳහා දරුවන්ව හවුල් කරගන්​න.
  • පාසල නිවස කිට්ටුව නම් කුඩා දරුවන් පාසලට ඇවිදින්න හෝ බයිසිකලයක් පැදීමට ඉඩ දෙන්න. මාර්ග ආරක්ෂාව ගැන ඔවුන්ට උගන්වන්න.
  • දරුවන් සමඟ ව්‍යායාම කරන්න සහ දෛනික ක්‍රියාකාරකම් සැලසුම් කරන්න.
  • ව්‍යායාම කිරීමට ළමයින් දිරිමත් කරන්න.