“සමාවෙන්න” කීමට දරුවෙකුට බල කරන එක සුදුසු නැත්තේ ඇයි කියල දන්නවද?

යම්කිසි වැරැද්දක් කරලා ඇත්නම් හෝ නුසුදුසු ලෙස හැසිරිලා ඇත්නම් සමාව අයැදීම කියන්නේ ඕනෙම කෙනෙක්ගෙන් සමාජය අපේක්ෂා කෙරෙන දෙයක්. එය සම්මත ප්‍රොටෝකෝලය වන අතර, ඒක අපේ ජීවිතයේ දියුණුව කරා යන ආකාරය පිළිබඳ හොඳ අපේක්ෂාවක් ද වෙනවා. කොහොම වුණත්, බලහත්කාරයෙන් සමාව ඉල්ලන්න කියලා ඔබ දරුවාට බල කරන එකෙන් ඒ වගේ ඵලදායී අරමුණක් ඉටු වෙන්නේ නම් නෑ.

දෙමව්පියන් විසින් වරදක් වුණ මොහොතේම සමාව ඉල්ලන්න කියලා දරුවන්ට බල කරන්න එපා කියන කාරණය යෝජනා වෙන්නේ ඒ නිසායි. ඒක විශේෂයෙන්ම ඇත්ත වෙන්නේ ඔබ ඔවුන්ගෙන් අපේක්ෂා කරන නිවැරදි හැසිරීම මොකක්ද කියලා දරුවාට වටහා ගැනීමට කාලය ඕනේ වෙන නිසයි.

දරුවන්ගේ හැසිරීමක් නිවැරදි කිරීමට යද්දී සැමවිටම සමාව ඉල්ලීමකින් ආරම්භ කිරීම හෝ අවසන් කිරීම අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් අද කාලයේ දෙමාපියභාවයන් (parenting) සම්බන්ධ විශේෂඥයින් විශ්වාස කරන්නේ දරුවන්ට පසුතැවිලි වීමට සහ ප්‍රශ්න විසඳීමට අවස්ථාවක් දෙන්න ඕනේ බවයි.

ඔබේ දරුවා ඇත්ත වශයෙන්ම කණගාටු නොවන හෝ එයාට නොතේරෙන දෙයකට සමාව ඉල්ලීමට ඔබ බල කිරීම ඉතා අයහපත් දෙයක් කියන්නේ ඒ නිසායි. 

 

පාඩම වචනවල නෑ

ඇත්ත වශයෙන්ම, අපි හැමෝටම අවශ්‍ය වෙන්නේ හරි වැරැද්ද අතර වෙනස අපේ දරුවන් දැන ගැනීමයි. ඒත් වගකීමක් පිළිබඳ හැඟීමකින් තොරව ළමයින්ට එම අවස්ථාවෙදී බලෙන් සමාව ඉල්ලන්න කියන්න එපා. ඊට වඩා වැදගත් වෙන්නේ වචන වලින් ඔබ්බට ඔවුන්ගේ ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාක පිළිබඳව දරුවන්ව දැනුවත් කිරීමට ඔබ අවධානය යොමු කිරීමයි.

නිදසුනක් වශයෙන්, එක් දරුවෙක් තවත් දරුවෙක්ව ක්‍රීඩා පිටියේදී තල්ලු කළාම එම හැසිරීම ගැන සමාව අයැදීමට බල කළොත්, දරුවා ඒකෙන් කිසිම පාඩමක් ඉගෙන ගන්නේ නෑ. මොහොතකට දැනෙන ලැජ්ජාව නිසා “මට සමාවෙන්න” යන වචනය බලහත්කාරයෙන් කියයි. ඒත් ඒ සමාව ඉල්ලීම විශ්වාස ක‍රන්න බැරි සහ අර්ථ විරහිත එකක්. දරුවන්ගේ වර්ධනය සඳහා සැබැවින්ම කරන්න ඕනේ දරුවා ගැටලුව පිළිගැනීම වන අතර එහිදී තත්ත්වය අවබෝධ කර ගැනීමට එයාගෙන් සැබෑ උත්සාහයක් ද අවශ්‍ය වෙනවා.

 

අවංක පසුතැවිල්ලක් පෙන්වන්නට ධෛර්‍යමත් කරන්න

 

“මට සමාවෙන්න” යන වචනය කියන්නට බලෙන් ඉගැන්වීමෙන් හෝ රඟපෑමෙන් දරුවා සමාව ඉල්ලීම සඳහා කිසිසේත්ම සුදානම් නැති නිසා ඒකෙන් කිසිම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නෑ. 

 

සමාව ඉල්ලීමට වෙනත් ක්‍රම තිබෙනවා. එහිදී බලහත්කාරයෙන් වචන උච්චාරණය කිරීම අවශ්‍ය වෙන්නේ නෑ. නිදසුනක් වශයෙන්, දරුවෙක් වෙනත් දරුවෙක්ගේ සෙල්ලම් බඩුවක් කැඩුවොත්, එයාගේ සමාව ඉල්ලීම සෙල්ලම් බඩුව අලුත්වැඩියා කිරීම හෝ අලුත් එකක් ගෙනත් දීම වගේ ස්වරූපයෙන් ද පැමිණෙන්න පුළුවන්. නරකයි කියලා හැඟෙන තත්ත්වය කොහොමහරි යහපත් කර ගැනීම සඳහා එතකොට එයා වගකීමක් ගන්නවා කියලා ඔබට පෙනෙයි.

බොහෝ දෙමව්පියන් තේරුම් ගැනීමට අපොහොසත් වන දෙය තමයි, මේ බව වටහා ගැනීමට දරුවාට මිනිත්තු කිහිපයක් ගත වෙනවා කියන එක. ඒත් ඒ මොහොතේදීම බලහත්කාරයෙන් සමාව අයදින්න කියලා කියනකොට දරුවාට කිසිම පසුතැවිල්ලක් දැනෙන්නේ නෑ. මොකද එයා ව්‍යාකූල වෙලා හෝ තවමත් එයාගේ හැසිරීමේදී මුලින්ම ඇති වුණ කෝපාවිෂ්ට හැඟීම්වලින් පිරිලයි ඉන්නේ.

 

යෝජනාවන් කෙරෙහි අවධානය යොමු කරන්න

සමාව අයැදීමේ වචන උච්චාරණය කරන ලෙස අවධාරණය කරනවා වෙනුවට වෙනත් යෝජනාවන් වලට අවධානය යොමු කිරීමෙන් දරුවන්ට ඔවුන්ගේ ජීවිතයේ වැරදි කරන දේවල් සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතු බව ඉගෙන ගන්නවා. ඒ අතර මෙම සෞඛ්‍ය සම්පන්න පාඩම ඔවුන්ගේ ජීවිතයේ සෑම අංශයකම ක්‍රියාත්මක කිරීමට ද මග සලසනවා. 

ඉහත උදාහරණය භාවිතා කරමින්, තවත් දරුවෙකුගේ සෙල්ලම් බඩුවක් කැඩීම නුසුදුසු බව තමන්ගේ දරුවාට තේරුම් කරවන්නට දෙමව්පියන්ට විනාඩි 10 ක් හෝ 15 ක් ගත වෙයි. ගෙවී යන එම මිනිත්තු වලදී, ඒ වෙද්දී අනෙක් දරුවා වෙනත් ක්‍රියාකාරකමකට යොමු වෙලා හෝ එම පරිශ්‍රයෙන් ඉවත් වෙලා ගිහින් ඇති නිසා ඔවුන්ට කිසි විටෙක වාචිකව සත්‍ය සමාවක් ලැබෙන්නේ නෑ.

කෙසේ වෙතත්, අළුත්වැඩියා කිරීම කියන්නේ අවසානයේදී ළමයිට හොඳ යෝජනාවක්. ළමයින් දිගින් දිගටම වර්ධනය වන විට, වාචික සමාව ඉල්ලීමේ අවශ්‍යතාවය ඔවුන් වටහා ගනියි. ඒ අතර, තත්ත්වයන් වේගයෙන් හා වඩාත් පැහැදිලිව තක්සේරු කිරීමට ඔවුන්ට පුළුවන් වෙයි. වාචිකව සමාව ඉල්ලීමේ සූක්ෂ්මභාවය අවබෝධ කර ගැනීම එන්නේ නියමිත වේලාවටයි.

 

වැදගත්ම දෙය, ඔවුන්ගේ වචන සහ ක්‍රියාවන්ට ඔවුන් වගකිව යුතු බව වටහා ගන්නා දරුවන් ඇති දැඩි කිරීමයි. ඒ වගේම අනෙක් පුද්ගලයින්ට බලපාන යම් වැරැද්දක් නිවැරදි කිරීමට ඔවුන් යම් දෙයක් කරලා දෙන්න ඕනේ කියලා හදවතින්ම විශ්වාස කරන දරුවෙක්ව ඔබ විසින් ගොඩ නැඟීමයි.