ලෝකයේ ලාබාලම මව පස් හැවිරිදි ලීනා මෙඩීනාගේ කතාව

සාමාන්‍යයෙන් කාන්තාවකට දරුවෙක් බිහි කරන්න නියමිත වයසක්, ශාරීරික ශක්තියක්, මානසික හැකියාවක් සහ අනෙකුත් ජීව විද්‍යාත්මක සුදුසුකම් ද සපුරලා තියෙන්න ඕනේ. වෛද්‍ය විද්‍යාත්මක සම්මතයන් එහෙම වුණත් ලාබාල වයසින්ම විවිධ හේතු සාධක නිසා දරුවන් බිහි කරන්න සිද්ධ වෙන නව යොවුන් දැරියන් ගැන ද අපිට විවිධ පුවත් අහන්න ලැබිලා තියනවා. ඒත් ඔබ අහලා තියනවාද අවුරුදු පහක දැරියක් මේ ලෝකයට දරුවෙක් බිහි කරලා තියනවා කියලා? ඇත්තටම හිතාගන්න බෑ නේද? ඒත් එහෙම දෙයකුත් මේ ලෝකයේ වෙලා තියනවා. මේ විශ්මයජනක සත්‍ය සිද්ධිය වෙලා තියෙන්නේ පේරූ රාජ්‍යයේ.

 

මේ පුංචි දැරිවි තමයි ලෝකෙ ලාබාලම අම්මා ! එයා තමන්ගෙ පුතා ප්‍රසූත කරනකොට යන්තම් වයස අවුරුදු 5 යි. ඒ 1939 දි පේරු රටේ ලීමා නුවරදි. ඇය නමින් ලීනා මෙඩීනා Lina Medina.

 

බඩ ක්‍රම ක්‍රමයෙන් ඉතා විශාල වීම

1939 වසන්තයේ මුල් භාගයේදී පේරු හි දුර බැහැර ගමක දෙමාපියන් දුටුවේ ඔවුන්ගේ 5 හැවිරිදි දියණියගේ බඩ ක්‍රම ක්‍රමයෙන් ඉතා විශාල වන බවයි. දිගින් දිගටම ඇතිවුණු මේ ඉදිමීම උදරයේ ඇතිවු ගෙඩියක් නිසා යැයි සැක කළ ඔවුන් තමන්ගේ කුඩා දැරිය ගම්‍රෙ වෛද්‍යවරුන්ට නොපෙන්වා නිවසේ සිට බොහෝ දුරින් පිහිටා ඇති ලීමා නුවර වෛද්‍යවරයකු වෙත ගෙන ගිහින් තියනවා. 

 

නිරෝගී පුතෙක්

ලීනාගේ දෙමවුපියන් කම්පනයට හා භීතියට පත් කරමින් වෛද්‍යවරයා සොයාගත්තේ ඔවුන්ගේ දියණිය මාස හතක ගැබිණියක් බවයි. සති හයකට පසුව 1939 මැයි 14 වන දින සිසේරියන් සැත්කමකින් ඇය පිරිමි ළමයෙකු බිහි කළා. දරුවා නිරෝගී රාත්තල් හයක පිරිමි දරුවෙක්. එවිට ඇයට වයස අවුරුදු 5 යි, මාස හතක් සහ දින 21 යි. දරුවෙක් ප්‍රසූත කළ ලොව ලාබාලම දැරිය බවට ඇය පත් වුණේ එහෙමයි.

 

ලාබාල වයසින්ම වැඩිවිය පැමිණීම

 

ලීනාට ඇගේ පළමු ඔසප් චක්‍රය වයස අවුරුදු දෙකහමාර හෝ තුන කාලයේදීයි අත්විඳින්න වෙලා තියෙන්නේ. වයස අවුරුදු හතර වන විට ඇගේ පියයුරු සම්පූර්ණයෙන් වර්ධනය වෙලා. වසර පහක් ඇතුළත ඇගේ සිරුරෙන් ශ්‍රෝණි පුළුල් කිරීම හා අස්ථි මේරීම පෙන්නුම් කරලා තියනවා.

 

දරුවාගේ පියා කවුද?

ඇයගේ දරු ප්‍රසූතිය එකල ළමා රෝග විශේෂඥයින් මවිතයට පත් කළ සිදුවීමක් වූ අතර ඇයට සහ ඇගේ පවුලේ අයට කිසි විටෙකත් අවශ්‍ය නොවන ජාතික අවධානයක් පවා දිනා දීලා තියනවා. එහෙත් මේ ලාබාල මෙඩීනා කිසි විටෙකත් දරුවාගේ පියා කවුද කියලා හෙළි කරලා නැහැ. එකල ඇය සහ ඇගේ පවුලේ අය බාහිර ලෝකයෙන් මිදිලා ප්‍රසිද්ධියේ ජීවත්වීමෙන් වැළකීමට අප්‍රමාණ වෙහෙසක් දරලා තියනවා.

 

“පූර්ව වැඩිවිය පැමිණීම” පිළිබඳ සිද්ධියක්

 

ඇගේ ගැබ් ගැනීම ඇගේ ආදරණීයයන්ට (සහ මහජනයාට) මහත් කම්පනයක් ඇති කළද, අවුරුදු 5 ක දරුවෙකුට ගැබ් ගත හැකිය යන අදහස ඒ කාලයේ විද්‍යාඥයින්ට ද මුළුමනින්ම සිතාගත නොහැකි එකක් වෙලා තියනවා.

 

පූර්ව වැඩිවිය පැමිණීම කියන්නේ දරුවෙකුගේ ශරීරය ලිංගික පරිණතභාවයට පත්වීම වන අතර වයස අවුරුදු අටට පෙර වැඩිහිටියෙකුගේ ශරීරයට වඩා වෙනස් වන දුර්ලභ ජානමය තත්ත්වයක්. මෙම තත්ත්වය ඇති පිරිමි ළමයින්ට බොහෝ විට ගැඹුරු කටහඬක්, විශාල වූ ලිංගේන්ද්‍රියන් සහ මුහුණේ රෝම වැවී පවා අත්විඳින්න වෙනවා. මෙම තත්ත්වය ඇති ගැහැණු ළමයින්ට සාමාන්‍යයෙන් ඔවුන්ගේ පළමු ඔසප් වීම අඩු වයසින්ම සිදු වන අතර සාමාන්‍ය විදිහට බොහෝ කාලයකට පෙර පියයුරු වර්ධනය වෙනවා.

 

ළමුන් 10,000කින් එක් අයෙකුට

සෑම ළමුන් 10,000 න් එක් අයෙකුට එය බලපාන තත්ත්වයක්. පිරිමි ළමයින්ට වඩා දළ වශයෙන් 10 ගුණයක් ගැහැණු ළමයින් මේ ආකාරයෙන් වර්ධනය වීමට ලක් වෙනවා.

බොහෝ අවස්ථාවන්හීදී මේ ආකාරයෙන් වැඩිවිය පැමිණීමට හේතුව හඳුනාගන්න අමාරුයි. කෙසේ වෙතත් මෑත කාලීන අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ ලිංගික අතවරයට ලක්වූ තරුණ ගැහැණු ළමයින් තමන්ගේ සම වයසේ මිතුරන්ට වඩා වේගයෙන් වැඩිවිය පැමිණෙන්න පුළුවන් බවයි. එම හේතුව නිසා කුඩා අවධියේදී ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් පූර්ව වැඩිවියට පැමිණීම වේගවත් වෙන්න පුළුවන් බවට සැකයක් පවතිනවා.

පූර්ව වැඩිවිය පැමිණීම කියන්නේ ලීනා මෙඩීනාගේ ගැබ් ගැනීම සඳහා හොඳ පැහැදිලි කිරීමක්. නමුත් පැහැදිලිවම ඒකෙන් එහෙම වෙන්න හේතු සියල්ල පැහැදිලි කෙරෙන්නේ නෑ.

 

පියා සහ ඥාති සොයුරා අත්අඩංගුවට

පේරු පොලිසිය පළමුව දේශීය රිදීකරුවෙකු ලෙස සේවය කළ මෙඩීනාගේ පියා වන ටිබුරෙලෝ ළමා දූෂණයට සැකපිට අත්අඩංගුවට ගන්නවා. කෙසේ වෙතත් අවසානයේදී ඔහුව නිදහස් කරන්නේ, ඔහු රඳවා තබා ගැනීමට කිසිදු සාක්ෂියක් හෝ විත්තිකරුට එරෙහිව කිසිදු ක්‍රියාවක් හෝ ප්‍රකාශයක් සොයාගත නොහැකි වූ නිසයි. ටිබුරෙලෝ ද තමන්ගේ දියණිය සමඟ ලිංගිකව එක්වීමේ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළා.

දෙවන සැකකරු ලීනාගේ ඥාති සහෝදරයෙකු වු අතර ඔහුට යම් මානසික ආබාධිත බවක් තිබිලා තියනවා. ඒ නිසා බලධාරීන් සිතුවේ ඔහුට එවැනි බිහිසුණු ක්‍රියාවක් කිරීමට හැකියාවක් ඇතැයි කියායි. නමුත් නැවත වරක් කිසිදු සාක්ෂියක් නොමැතිව පොලිසියට එකී පුද්ගලයාද නිදහස් කිරීමට සිදු වුණා. ඒ නිසා ලීනාගේ දුෂිතයා තවමත් අබිරහසක්. 

 

මාධ්‍ය සංදර්ශන ප්‍රතික්ශේප කිරීම

පේරු හි පුවත්පත් විසින් මෙඩීනා පවුල සමග සම්මුඛ සාකච්ඡා කිරීමට සහ ඔවුන්ගේ දියණිය රූගත කිරීමට ඇති අයිතිය වෙනුවෙන් ඩොලර් දහස් ගණනක් ලබා දීමට ඉදිරිපත් වෙලා තියනවා. එක්සත් ජනපදයේ පුවත්පත් විසින් ඇගේ පවුලට මුදල් ගෙවීමටත්, එක්සත් ජනපදයට ගෙන ඒමටත්, විකාර සහගත ප්‍රදර්ශනයක් සඳහා අනුමැතියක් වෙනුවෙන් ඩොලර් දහස් ගණනින් දීමට ද ඉදිරිපත් වෙලා තියනවා. 

 

මෙඩීනාගේ මව සහ පියා තම දියණියට ළමා කාලයක් අවශ්‍ය බවත්, විටින් විට මිනිසුන් සහ ජනප්‍රියත්වයට කෑදර මාධ්‍යයන් විසින් කරන මේ අකාරුණික ඉල්ලීම් ඇගේ මනසට අනවශ්‍ය බලපෑමක් සිදුකරනු ඇති බවත් පවසමින් ඒ සියල්ල බුද්ධිමත්ව ප්‍රතික්ෂේප කරලා තියනවා. 

 

තම සහෝදරයෙක් ලෙස සිතමින්

මෙඩීනා ප්‍රසූතකළ පිරිමි දරුවා පවුලේ අය ජෙරාඩෝ ලෙස නම් කළ අතර, ළදරුවා රෝහලෙන් නිදහස් කළ වහාම ඔවුන් ටික්රාපෝ නම් පවුලේ ගමට ගිහින්. බොහෝ වාර්තාකරුවන් සහ වෛද්‍යවරු ඇයව තවදුරටත් පරීක්ෂා කිරීමට උත්සාහ කළද, ඔවුහු ඊට ඉඩ නොදුන් අතර ඉඩලත් එකම පුද්ගලයා සහ විශේෂඥයා වූයේ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ළමා අධ්‍යාපනය පිළිබඳ විශේෂඥවරියක වන පෝල් කොස්ක් ය. 

“ඇය දරුවා තමාගේ ළදරු සහෝදරයෙකු ලෙස සිතන අතර පවුලේ අනෙක් අයද එසේමය” යනුවෙන් කෝස්ක් විසින් ඒ කාලයේදී මාධ්‍යට වාර්තා කළා.

 

ඉන්පසු ජීවිතය

ජෙරාඩෝ හැදී වැඩුණේ මෙඩීනා තමන්ගේ වැඩිමහල් සහෝදරිය යැයි සිතමින් වන අතර ඔහු සත්‍ය සිද්ධිය සොයාගෙන තියෙන්නේ නව යොවුන් වියේදීයි. වයස අවුරුදු 40 දී අස්ථි ඇටමිදුළුවලට සම්බන්ධ රෝගයකින් ඔහු මිය ගිහින් තියනවා. ඒ 1979 වසරේදීයි. 1970 දශකයේ මුල් භාගයේදී ලීනා මෙඩීනා විසින් රාවුල් ජුරාඩෝ නම් පුද්ගලයෙකුව විවාහ කර ගත් අතර 1972 දී වයස අවුරුදු 39 දී ඇගේ දෙවන දරුවා බිහි කළා. 

 

ප්‍රසිද්ධිය කෙරෙහි ඇයගේ ජීවිත කාලය පුරාම තිබූ ආකල්පය සහ පිටස්තරයින්ගේ කුතුහලය පිරි දෑස් දෙස බලන විට දැනෙන අපහසුව නිසා ලීනා මෙඩීනා ඇගේ ජීවිතය හැමදාටම පෞද්ගලිකවම තබා ගැනීමට ගත් තීරණය ඇයට ගන්න තිබූ ඉතාම හොඳ තීරණය වන්නට ඇති. ඇය තවමත් ජීවතුන් අතර සිටිනවා නම්, ඇය අද 80 ගණන්වල පසුවන මිත්තණියක්.